Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Sunday, March 6, 2011

ඛදිරගොර ජාතකය

බුද්ධ ශ්‍රාවකයාගේ විශේෂ ගුණය වන්නේ ශ්‍රද්ධා සම්පත්තියයි. ශ්‍රද්ධාව පරම ධනය ද වන බව “සද්ධීධ විද්ධං පුරිසස්ස සෙට්ඨං” යන ආලවක සූත්‍ර පාඨයෙන් කියවෙයි. මේ උතුම් ගුණය බුද්ධ ශ්‍රාවකයා තුළ හට ගනු ලබන්නේ තෙරුවන්ගේ ගුණ මහිමය පිළිබඳ ලබන අවබෝධයෙනි. පාපයෙන් මිදීමට මඟ පෙන්වන ශ්‍රද්ධා ගුණය කුශලයට මඟ පෙන්වයි.
දාන ශීලා දී පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමට හැම විටෙකම උත්සාහය ඇති කරවයි. නිවැරදි දේ තෝරා බේරා ගන්නට හැකියාවක් ඇති කරවන ශ්‍රද්ධා බලය පුද්ගලයා ඉතා ප්‍රියමනාපයෙකු බවට පත් කරයි. බෞද්ධයාගේ අචල ශ්‍රද්ධාව පරාජය කරවන්නට මාරයාටවත් නොහැකි බව පැහැදිලි කෙරෙන කථාවක් ලෙස ඛදිරගොර ජාතකය විවරණය කළ හැකි වෙයි.
බුදුහිමියෝ දෙව්රම් වෙහෙරෙදී අනේපිඬු සිටාණන් අරබයා මෙම ජාතකය දේශනා කොට වදාළහ. පනස් හතර කෝටියක් ධනය වියදම් කොට දෙව්රම් විහාරය තැනූ අනේපිඬු සිටාණෝ උදෑසන, දහවල හා සන්ධ්‍යාවෙහි යනුවෙන් දිනකට තුන්වරක්ම බුද්ධෝපස්ථානය පිණිස දෙව්රමට යාම තම සිරිතක් බවට පත් කරගත්හ. ලොකු කුඩා සියලු භික්ෂූන්ගේ සියලු අවශ්‍යතා සොයා බලා ඉටු කළහ. සිටුමැදුර ද භික්ෂූන්ට නිතර විවෘතව තැබූහ. භික්ෂූන්ට පියෙකු මෙන් සිටාණෝ සැලකූහ.
සිටු මැදුරෙහි එක් දොරටුවක් අරක් ගත් එක් මිථ්‍යාදෘෂ්ටි දෙව්දුවක් වෙසෙයි. බුදුන් හා ශ්‍රාවකයින් නිතර නිතර සිටු මැදුරට වඩින විට විමානයෙන් බිමට බසින්නට මෙම දෙව්දුවට සිදුවෙයි. මෙය කරදරයක් ලෙස සිතූ දෙව්දුව සිටු මැදුරෙහි ප්‍රධාන සේවකයා ලවා සිටුතුමාගේ ශාසනික කටයුතු නතර කරවන්නට උත්සාහ ගති. එම පුරුෂයා එය ප්‍රතික්ෂේප කළේ වහා මෙම මැදුරෙන් පලායන්නැයි දෙවඟන බිය ගන්වමිනි.
නොයෙක් දෙනාත් ලවාත් මෙය කර ගන්නට නොහැකි වූ විට මෙම මිසදිටු දෙවඟන දිනක් සිටාණන් වෙත ගොස් ශාසනය වෙනුවෙන් කරන ධන වියදම වහා නවතා බුදුන් හා ශ්‍රාවකයන් නිවසට වැඩමවීම ද නතර කරන ලෙස ඉල්ලා සිටියි.
කර්මාන්තාදිය කරමින් ධනය ඒකරාශී කරන්නැයි ද ඇය ඉල්ලීය. එවිට සිටුතුමාගේ පිළිතුර වූයේ තොප වැනි මිසදිටු දෙවඟනන් ලක්ෂයක් විසින්වත් නොසෙල්විය හැකි ශ්‍රද්ධාවක් තමා සතු බවත් තී වැනි දුශ්ශීල දෙවඟනක විසීම පවා අනර්ථයක් බැවින් වහා විමානයෙන් පලා යන ලෙසත් ය. සසුනට නිගා කළ මිසදිටු දෙවඟනට වාසස්ථානය අහිමි විය. ඇය විවිධ අයගේ පිහිට ප්‍රාර්ථනා කළ ද එයින් ප්‍රයෝජන නොලද්දේ ය.
අනතුරුව සතරවරම් දෙව්රජදරුවන්ට ද, ශක්‍රයාට ද කියා පිහිටක් ඇයදී ය. ඒ සියලු දෙනා කීවේ තී කර ඇත්තේ සසුනට ගැරහීමක් බවයි. ශක්‍රයාගේ උපදෙසින් නැවත පැමිණ සිටුතුමාගෙන් සමාව ඉල්ලා සිටි මෙම දෙවඟන බුදුහිමියන් වෙතට රැගෙන ගොස් සමාව යදින්නට මෙහෙයවීය. බුදුහිමියන් ඇය හමුවේ වදාළේ පාපියා හට පාපය විපාක නොදෙන තෙක් කුසලය නොදකින බවයි.
විපාක දෙන විට කුසලය දකින බවයි. දෙවඟන තමා නොකිවමනා දෙයක් ප්‍රකාශ කළැයි ද එහි විපාකය තමන් විඳීන ලදැයි ද කියමින් බුදුන් හමුවෙහි ම සමාව ප්‍රකාශ කෙරිණි. එමෙන්ම පාපී දෙවඟන වළකද්දීත් සිටුතුමන් දානාදී පින්කම්හි නිරතවීම ගැන සිටුතුමන්ට ප්‍රශංසා කළ බුදුහිමියෝ අචල ශ්‍රද්ධාවෙහි පිහිටි උපාසක උපාසිකා කවරකු හට වුව අල්පේශාක්‍ය දෙවියන්ට හෝ විපත් කළ නොහැකි බව පෙන්වා වදාළහ. එමෙන් පෙර නුවණැති සැදැහැතියෝ මාරයා වලකද්දීත් දන් දුන් අයුරු පෙන්වන්නට අතීත කථාව වදාළහ.
පෙර බෝසතුන් සිටු පදවි ලබා උසස් ශීලයෙහි පිහිටා දන්සල් පවත්වමින් දානාදී කුසලයෙහි යෙදී වසන සමයෙහි එක් පසේ බුදුවරයෙක් සිටු මැදුරට පිඬු සිඟා වැඩියේ ය. මෙය දුටු මාරයා පසේ බුදුන් කුසගින්නෙහි තබා මරා ගොදුරට ගනිමි’යි ද සිටුගේ දානය වළකමියි ද සිතා කිහිරි අඟුරු ගින්නක් සිටු මැදුර ඉදිරියේ මැවීය. බෝසත් සිටුවරයා තමාගේ දානාභිප්‍රාය විනාශ කරන්නට මාරයා කළ ඒ ක්‍රියාව පරදවමි’යි පසේ බුදුන්ට දන් බෙදන්නට ගිනි මතට පැන්නේය. ගින්නෙන් අනතුරක් නොවී දන් බෙදනු දුටු මාරයා පැරදී පලා ගියේය.
දන්දීම සිල් රැකීම වැනි උතුම් පිළිවෙත් පුරන්නවුන්ට සොබාවික විපත් නොදෙන බව ද මාරයාට හෝ අනතුරක් කළ නොහැකි බව ද මේ කථාව ගෙන හැර දැක්වූ බුදු පියාණෝ වදාළහ. දෙවඟන සෝවාන් ඵලයට පත් වූවා ය.
අතීත වර්තමාන කථා දෙකම එකම තේමාවක් යටතේ ගොඩනැඟී තිබෙයි. එනම් ශ්‍රද්ධාව සහ දානයයි. ශ්‍රද්ධාව පුද්ගලයා සුරකින බලයක් බවට පත්වන අයුරු මෙම කථාවෙන් කියවෙයි. මේ කථාවෙහි දෙවඟනගේ ක්‍රියා කලාපය නූතන මිථ්‍යාදෘෂ්ටිකයකුගේ චරිතය විවරණය කරයි.
නූතනයේ ද මෙවැනි චරිත ලක්ෂණ ඇත්තෝ අපමණ වෙසෙති. දන් පින්කම් ආදියෙදි මතු නොව දහමින් ඈත් කරවන්නට වෙහෙසෙන මිථ්‍යාදෘෂ්ටික බලවේග පවා අද ගොඩනැඟී තිබෙයි. දානය ශීලය වැනි උතුම් මානව සාරධර්ම ආරාධිත පරිසරය ඔස්සේ සැදැහැතියෝ ගොඩනඟා ගනිති. එය සැදැහැතියාගේ දිවියට ප්‍රබල ශක්තියකි.
එහෙත් එවැන්නන් ආරාමික පරිසරයෙන් ඈත් කරවන්නට ඇතැම්හු කුමන්ත්‍රණ කරති. ඒ සඳහා නොයෙක් ඇදහිලි විශ්වාස ද හඳුන්වා දෙති. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර ශ්‍රාවකයන් එවැනි පිරිසක් ලෙස දැක්විය හැකිය.
ඔවුහු මාරයාගේ ග්‍රහණයට හසු වී සිටිනා බව නොදනිති. ආරාමික පරිසරයෙන් ඈත් කොට දාන ශීලා දී උසස් ගුණ ධර්මයෙන් වළකාලන්නට මොවුහු තම ශ්‍රාවකයන්ට මඟ පෙන්වති. බොහෝ බෞද්ධ නාමයෙන් පෙනී සිටින්නෝ මේ පසුපස ගොස් වැනසෙති. ඔවුනට අචල ශ්‍රද්ධාවක් නොමැත.
ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් විය යුතුය. එය කවරකුට හෝ කවර බලවේගයකට හෝ නොසෙල්විය හැකි බලයකි. එය ආරක්ෂක පවුරකි. මිථ්‍යා මතවලට ඔවුහු කිසිදා නොනැමෙති. මිථ්‍යා ඇදහිලි පස්සේ ද නොයති. ඇතමෙක් පන්සල භික්ෂුව ආශ්‍රයට නොකැමැත්තෝ වෙති.
ඔවුන්ගේ එවන් සිතුවිලි මාරාවේශයෙන් සිදුවූවක් යයි අපට අනුමත කළ නොහැකි ද? වසවර්ති මාරයා සෑම විටෙක ම බලා සිටින්නේ සැදැහැතියා විනාශ කරන්නටය. පාපයට නැඹුරු කරන්නට ය. එදා බෝමැඩ බුදුන්ගේ බුද්ධත්වය වළකාලන්නට නොහැකි වූ වසවත් මරු හැම කල්හිම බොදුනුවාගේ සිත් වසඟයට ගන්නට මාන බලමින් සිටී. පාපියෝ හසුවෙති. තෙරුන් ගුණ දත් අචල සැදැහැතියෝ කිසි විටෙකත් නොනැසෙති.
එබැවින් මාරාවේශයෙන් මිදී ශ්‍රද්ධාව දියුණු කර ගනිමින් කුසලයෙහි යෙදීම මෙලොව පරලොව දෙලොවම ප්‍රසන්න කරගැනීමට හේතු වෙයි.