Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Thursday, February 24, 2011

ඔබටත් නා‍යකයෙකු විශිෂ්ටයෙකු විය හැකිය

 විද්‍යාලයේ 2011 - 02 - 25 දින පැවැත්වෙන ශිෂ්‍යනායක උළෙල නිමිත්තෙනි.

වැඩ කරන්නට යන අවංක පුද්ගලයා සමච්චල් කිරීම , සිනා සීම, බාධා කිරීම, අපහාස කිරීම යනාදී විවිධ අවස්ථාවන්ට මුහුණ දිය හැකි නොසැලෙන ධෛර්යයෙන් යුතු පුද්ගලයකු වීම අත්‍යවශ්‍ය වේ.

කොතරම් ප්‍රඥාව දැනුම තිබුණත් චරිතවත් බව නැති නම් ඒ කිසිවකින් ඵලක් නැත. නායකත්වයට පත්විය යුත්තේ එසේ චරිතවත් පුද්ගලයන් ය.


පාසල් අවධියේ ඇති කර ගත්ත යාළු මිත්‍රකම් ජීවිත කාලය පුරා පවතින බව මතක තබා ගන්න. මිත්‍රත්තවය අමතක කරල නායකත්වය අතට අරන් වැඩ කරන්නත් යන්න එපා.එත් ඒ මිතුරු කම් නිවැරැදි නායකත්වයට බාධාවක් කරගන්නත් එපා.


අතීතයේ වගේ නොසැලෙන ධෛර්යය ඇති මිනිස්සු, ධනයට, බලයට නොනැමෙන මිනිස්සු පිරිසක් ලෙස කරටයුතු කළොත් විතරයි ලෝකය හමුවේ අපට හිස ඔසවන්න පුළුවන් වෙන්නේ.
එදා ඕල්කට්තුමා වගේම මේ විද්‍යාල බිහි කරන්න මුල් වුණු හික්කඩුවේ සුමගංල හාමුදුරුවෝ අධිරාජ්‍යවාදයට යට වුණේ නැහැ. මහා ධනස්කන්දයට යට වුණේ් නැහැ. ධනය නෑ කියලා බලාගෙන හිටියෙත් නෑ. කැප වීමෙන් වැඩ කළා.

අධිරාජ්‍යවාදීන්ගේ ධනයෙන් නොවෙයි මේ විද්‍යාල ගොඩ නැගුණේ.අපේම මුතුන් මිත්තන්ගේ කැපවීම හා ධනය යොදාගෙන බව හිතන්න.මේ පාසල සමස්ත ජාතිය සතු වස්තුවයි කීවට වරදක් නෑ. පාසලක ආදර්ශ පාඨය තියෙන්නේ හදවතේ දරා ගන්න.

අපේ ආදර්ශ පාඨය “අත්ත දීපා විහරථ’’ තමා තමාට පහනක් සේ සිතා ජීවත් වන්න. එවිට තමන්ගේ දොස් තමන්ටම පේන්න ගන්නවා. අපි ඉන් නිවැරැදි වුණොත් අපිට අනෙක් අය සමග කටයුතු කරන්න ඉතා පහසුයි.

චරිතවත් බව කියන්නේ අහිංසක කම නොවේ’ ගහන්න ගහන්න හිස නමාගෙන ඉන්න නිවට කමටත් නොවෙයි. සමාජයෙන් ඈත් වෙලා ප්‍රශ්න වලට මුහුණ නොදි නිකම්ම ඉඳීමත් චරිතවත් බව නොවෙයි.
චරිතවත් බව ලැබෙන්නේ ධෛර්යයෙන් , විශ්වාසයෙන් විනයානුකූලව වැඩ කිරීමෙන් පමණයි. එදා තිබුණු අපේ අධ්‍යාපන ක්‍රමයේ ශීලය ගොඩ නගලයි ප්‍රඥාව දෙන්නේ. අධ්‍යාපන ආයතන වල මුලින්ම කළේ හික්මීම ලබා දෙන එකයි.හික්මුණු තැනැත්තාට ඊළඟට ශිල්පය ලබා දුන්නා.ශිල්පය කඩුවක් වගෙයි. ඒක දෙන්න ඕනෑ හික්මුණු චරිතවත් තැනැත්තාට කියලයි විශ්වාසය තිබුණේ. භාවනාව වුණත් නොහික්මුණු කෙනෙක් කළොත් එයින් සෘද්ධි බල ලබා ගෙන නොවැදගත් දේවල් වල යෙදෙනවා. ලාභ ප්‍රයෝජන තකා විජ්ජා පෙන්නන්න සෘද්ධි බලය පාවිච්චි කරන්න එපා කියලයි බුදු හාමුදුරුවො දේශනා කළේ.

වැඩ කරනකොට අනෙක් අය අපිට හිනා වෙයි. හිනා වෙනකොට පසු බාන්න එපා. ලැජ්ජාවට පත් වෙන්න එපා.ලැජ්ජා වෙන්න බය වෙන්න ඕනෑ පව් කරන්නයි. හිනා වෙයි කියන බයට වැඩ නොකර හිටියා නම් මේ ලෝකයේ ජනතාවට කුඩයක්වත් ඉහළ ගෙන යන්න ලැබෙන්නේ නෑ. මුලින්ම කුඩයක් හදලා ඉහළ ගෙන ගිය නිර්මාණ ශිල්පියාට ඒ මුළු නගරයම හිනා වුනාලු.හිනහ වුණත් නොනැවතී ඉදිරියට යනකොට ඊළඟට අපහාස කරනවා. ඒ අපහාසයට ඔරොත්තු දෙන්න ඕනෑ.


අපහාස කරලත් නතර කරන්නේ නැතිනම් ඊළඟට කරන්නේ බාධා කරන එකයි. පෙත්සම් ගහන එකේ ඉඳන් බොරු චෝදනා කරන එකේ ඉදන් කටකතා කියන එකේ ඉදන් නොයෙක් බාධා කරනවා.
එහෙම කරලත් නතර කර ගන්න බැරි වුණොත් අතින් පයින් පහර දෙනවා. මරා දාන්නත් උත්සහා කරනවා. ඒ කියන්නෙ සේවය කරනව කියන එක ඒ තරම් ලේසි නැහැ. ඒත් අපි ඒක කළ යුතුයි. නියම නායකයා කියන්නේ එහෙම කෙනාට.

අපි ලෝකයට පය තැබුවහම දෙවර්ගයක මිනිස්සු හමුවේවි. එක පිරිසක් වැඩ කරන මිනිස්සු. අනෙක් පිරිස වැඩ නොකර ලකුණු දාගන්න කැමති, කීර්තිය ලබා ගන්න කැමැති පිරිසයි.මෙයින් වඩා පහසු දේ තමයි වැඩ නොකර ලකුණු ලබා ගන්න ගොඩට ඇතුළුවීම. නමුත් මම කියන්නේ ඔබ වැඩ කරන ගොඩට ඇතුළු වෙන්න ඕනෑ කියන එකයි. කකුලෙන් අදින අය, කේලාම් කියන අය, ඉන්නේ වැඩ නොකරන අයගේ ගොඩේ.ඔබ වැඩ කරන ගොඩට ගියහම ඔබට තරගයක් නැහැ.වැඩ කරන අයට ඊර්ෂියාකාරයෝ තරහකාරයෝ පේන්නේ නෑ.දකින්න වෙලාවක් නැහැ.

ඒ වගේම වැඩක් සාර්ථකව කර ගෙන යන කොට ඒ වැඩය උදුරා ගන්න සමහරු ඉදිරිපත් වෙනවා. නමුත් ඒ උදුරන්නේ වැඩ නොවෙයි කීර්තියයි. කීර්තිය උදුරාගෙන යන්න දෙන්න. උදුරාගන්න කීර්තිය හරියට තමන්ට අයිති නැති පරවියෝ වගේ යි. උඩ ගහපු ගමන් උන් ආපහු අයිතිකාරයගේ කූඩුවට යනවා.
කීර්තියත් ඒ වාගේම තමයි. උදුරා ගත්තාට වැඩක් නෑ. වැඩ කරන කෙනාගේ අතටම කීර්තියත් ආපහු එනවා.
මොකක් හෝ කටයුත්තක් පටන් ගන්න සියල්ල සම්පූර්ණ වෙනතුරු ඉන්න එපා. අවශ්‍යතා සම්පූර්ණ වෙනතුරු හිටියොත් කිසිම කාර්යයක් සම්පූර්ණ කරන්න වෙන්නේ නෑ. මේ ලෝකේ කිසිම ගෙයක් සියල්ල සම්පූර්ණ කර ගෙන ඉදි කරලා නෑ. වැඩේ කර ගෙන යන කොටයි අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ.


ඒ නිසා කිසියම් වැඩක් පටන් ගන්න කොට ඒ වැඩේ විශාලත්වය ගැන හිතන්න එපා. විශාලත්වය තමන්ගේ හිතේ මැවෙන දෙයක්. ලෝක වාර්තා තියපු ක්‍රිකට් තරග වල වාර්තාව ගැන කිසිම ක්‍රීඩකයෙක් හිතන්න නැතුව ඇති. ඒ ඒ ලැබෙන පන්දුව ගැනයි දක්ෂ ක්‍රීඩකයෝ හිතන්නේ.ඒ නිසා විශිෂ්ටයෙක් වෙනකම් ඉඳලා වැඩ කරනවයි කියලා හිතන්න එපා. වැඩ වලිනුයි විශිෂ්ටයෙක් බිහි වෙන්නේ. දරුවනේ වැඩ කල්දාන එක ඉතාම නරක පුරුද්දක්.

ඒ වගේම ශිෂ්‍යත්වය වේවා, සාමන්‍ය පෙළ වේවා, උසස් පෙළ වේවා විශිෂ්ට ලෙස සමත් වුණු හැමෝම එදා වැඩ එදාම ඉවර කරපු අය. ජීවිත කාලයේදී නොකළ වැඩ මරණ මංචකයේදී කරන්න බෑ. ඒක මතක තියා ගන්න.

අපි අපිව මනින්නේ කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙන වැඩ වලට අනුවයි. අපි ඒ අනුව තමයි වගකීම් ඉල්ලන්නේ. නමුත් ලෝකයා අපිව මනින්නේ අපි කරලා තියෙන වැඩවලට අනුවයි.
මේ වෙනස නිසා තමන්ට නිසි රාජකාරිය, නිසි තනතුරු නෑ කියා සමහරු පසුතැවිලි වෙනවා. තනතුරු හැමෝටම නැති වුණාට අපි හැමෝටම කළ හැකි යමක් තියනව. ඒ දෙය නොපැකිලිව කරන්න පෙරට එන්න.
ඉන්දියාවේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා  පාසල් ජීවිත කාලයේ  කිසිදු තෑග්ගක් ලබල නැහැ. නමුත් ඉස්කෝලේදී එක තෑග්ගක් ගත්තේ නැති එතුමා නොබෙල් තෑග්ග ගත්ත කවියා බවට පත්වුණා. පාසල් ජීවිතයේදී තෑග්ගක් නොලබපු එක තනතුරක් නොලබන එක  ජීවිතයේ බාධාවක් කර ගන්න එපා. නායකත්වයට සහයෝගය දීමත් වක‍්‍රව නායකයෙක් ලෙස කටයුතු කිරීමක්.

නායක කමක් නොලැබීමෙන් පාසල් ජීවිතයේ දස්කම් පෙන්වීමට බැරි වීමෙන් රටට වැඩක් නැහැයි කියලා හිතන්න එපා. ඔබ හැමෝම රටට වැදගත්. අපේ පාසලට සමාජයට වැදගත්. අපහසුකම් මැඩ ගෙන වැඩ කිරීමයි වැදගත්. එදා මේ විද්‍යාල වල උගන්වපු අපේ ශ්‍රේෂ්ඨ ජාතික කවියා වන ටිබෙට් ජාතික එස්.මහින්ද හාමුදුරුවෝ මෙහෙම කිව්වා. මේ කවිය හොඳට මතක තියා ගන්න.

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිර කම්
මේ දේ මැඩ ගෙන දස් කම්
පෑම තමයි සුරු විරු කම්


අවහිරකම් මැඩ ගෙන දස්කම් පෑම තමයි ලාංකික දරුවන්ගේ සුරු විරු කම වෙන්නේ.

නායකයෙකු සතු ගුණාංග ගැනත් අපි ටිකක් සිහියට ගන්න ඕනෙ.

අරමුණ තීරණය කිරීම
 මේක නායකයෙකුගේ හොද ලක්ෂණයක්. අහසට එල්ලකොට විදින්න. එවිට පොල් ගහකට වඩා ඉහළ යා හැකිය. මේක චීන කියමනක්. අපි අරමුණක් තීරණයක් ඇති කරගන්න ඕනෙ යමක් පරයා යන්න මිස එතැනටම යන්න නෙවෙයි. ඒක නායකයාගෙ දැක්ම. එතකොට නායකයාට පුළුවන් පිරිස අරමුණ ලගට හෝ අරන් යන්න. අපි යමක් කරන්න සැලැස්මක් හදනවා කියන්නේ ඒකයි. කළමණාකරණය මගින් යම් දිගු දැක්මක් ඇති කරගන්න ඕනෙ.

ආත්ම විශ්වාසය
තමන්ගෙ දරුව දියේ ගහගෙන යනකොට අම්ම දියට පැනල බේරගන්නවා. ගෙයක් ගිනි ගන්න කොට ගින්නට ‍පැනල මිනිස්සු වටිනා දේවල් ඉවතට ගන්නවා. අලියෙක් එලවන් ආවොත් බේරෙන්න දුවනවා. මේව අළුත් අත්දැකීම්. ඒත් පුරුදු නැහැ කියල අපි මේව අත් හරින්නෙ නැහැ. එහෙනම් කොහොමද ඒව කරන්නෙ. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නෙ. හැමෝම තුළ ආත්ම විශ්වාසය තියනවා සැගවිලා. ඒක නායකයා මතු කරගන්න ගමන් තම අනුගාමිකයන් තුළත් ඒව මතු කරන්න ඕනෙ.

ආරම්භක හැකියාව- පෙරගමන්කරුවෙකු වීම

වැටෙන හැම විටම යමක් අහුල ගන්න. මේක ඉංග්‍රීසි කියමනක්. මොළෝ පෑදෙන්න නම් වළක වැටෙන්නම ඕන. මේක චීන කියමනක්. ගොඩ පීනල වැඩක් නැහැ. මේක සිංහල කියමනක්. මේ ‍දිහා බලනකොට අපිට පේන්නෙ යමක් පටන් නොගෙන සිත සිත ඉන්න තාක් එය සාර්ථක නොවන බව. ඒ නිසා නායකයාට හොද ආරම්භක හැකියාවක් තියෙන්න ඕනෙ. පසුව අනෙක් අය ඒ දෙසට මෙහෙයවන්න ඕනෙ.

එකමුතුකම - සහයෝගය
මුතුමාලය එකට අමුණලා තියන කොට ලස්සනයි. එක මුතු ඇටයක් වෙන් වශයෙන් ගත්තම ඒකෙ බැබළිම අඩු වෙනව. සොරග්‍රහ මණ්ඩලය සූර්යයා වටා ප්‍රමිතියකට එකට ගමන් කරනවා. එහෙ මෙහෙ විසිරී යන්නෙ නැහැ. චන්ද්‍රයා ආලෝකය එකට කැටි කරල විහිදුවනවා. තරු වගේ වෙන් වශයෙන් ඉන්නෙ නැහැ. වටු කුරුල්ලො වැද්දාගේ දැල සමගියෙන් ඔසවා‍ගෙන ගිහින් බේරුණා. නායකයා මේ වගේ තම පිරිස හා සමගියෙන් උපක්‍රමශීලීව කටයුතු කරන්නට හැකියාවක් ඇති‍ කෙනෙක් වෙන්න ඕනෙ.

නායකත්වගුණය
අනුගාමික පිරිසක් තම පසුපස සිටින බව නිතරම සිතන්න. තමන් හොද ආකෘතියක් බවට පත් වන්න. එක්ව කටයුතු කිරීමට නිතරම කල්පනා කරන්න. ආත්මාර්ථය පසෙක දමන්න. එවිට ඔබ ඔබේ මිතුරන්ට ප්‍රිය නායකයෙකු වෙයි.

විවිධ අයුරින් සිතීම
යුද්ධයකදී සැලසුම් හදන්නේ සෙන්පතිවරු. එහි ජයග්‍රහණය හෝ පරාජය අත්වන‍්නෙ ඒ සැලසුමේ දැක්මට අනුව. ඒ නිසා සෑම පැත්තක් ගැනම යමක් කිරීමේදී දැකීමට නායකයාට පුළුවන්කම තියෙන්න ඕනෙ.
එහෙම නැත්නම් පිරිසක් හසුරුවන්න අපහසු වෙනව.

අන්මත ඉවසීම
සවන් දීම ඉතාම වැදගත්. නායකයා නිතරම අන් අයට සවන් දිය යුතුයි. ඒ මත අදහස් එක් වර නිෂේධ නොකළ යුතුයි. ඒවා ප්‍රතිසංස්කරණය කොට ක්‍රියාත්මක විය යුතුයි. එය ඔබ විශිෂ්ටයකු බවට පත් කරනු ඇත.
තිස්සමහාරාමයේ නන්දවිමලතිස්ස හිමි විද්‍යොදය පිරිවෙණ.