Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Monday, February 28, 2011

ජලජ පැළෑටිවල වැදගත්කම


කඳු හෙල් වන ලැහැබ පසු කරමින් අවට සිරියාව වඩවන සිසිලසින් ගලා බසින ගංගා, ඇළ දොළ, දිය ඇළි මෙන්ම වැව් අමුණු අප අවට පරිසරයේ සුන්දරත්වය වඩවන අංගයන්ය.

මෙකී දිය දහරාවන්ගෙන් පහස ලැබ පෝෂණය වන ජලය ආශ්‍රිත විවිධ පැළෑටි වර්ග මේ පරිසරයේ අනිවාර්ය අංගයකි. නොයෙකුත් ආකාරයෙන් වර්ධනය වන මේ ජලජ පැළෑටි සමහරක්‌ මුළුමනින්ම ජලය තුළ වර්ධනය වන ඒවාය. සමහර ඒවා පාවෙමින් වැඩෙන අතර ඇතැම් පැළෑටි මුල් මගින් ජලය සහිත පතුලට සවිවී පාවෙන පත්‍ර සහිතව වැඩෙයි. ගොඩබිම හා ජලය යන පරිසර දෙකට අතරමැදි එනම් උභයජීවි තත්ත්ව යටතේ හටගෙන වර්ධනය වන පැළෑටි ද මේ යටතට ගනු ලබන තවත් කොටසකි.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක්‌ වන අතර මෙහි පවතින දේශගුණික තත්ත්වයන්හි ජලජ පැළෑටි ඉතා ඉහළ සංඛ්‍යාවක්‌ සාර්ථක ලෙස වර්ධනය වන අතර සීඝ්‍රයෙන් බෝවීමද සිදුවේ. ඒ නිසාම විවිධ අවස්‌ථාවන්හිදී විදෙස්‌ රටවලින් අප රටට ගෙන එන ලද ජලජ පැළෑටි රාශියක්‌ අද වන විට ආක්‍රමණශීලී වල් පැළැටි බවට පත්ව ඇත.

එසේ වුවද ජලජ පරිසරයේ වැඩෙන ශාක විවිධ පාරිසරිකමය සහ ආර්ථිකමය වශයෙන් වැදගත් වීම නිසා ඒ පිළිබඳ දැනුවත් වීම අප සැමට ප්‍රයෝජනවත් දෙයකි.

ජලාශ්‍රිත ස්‌වභාවික පරිසරයන්හි ජලජ පැළෑටි වර්ග එහි වාසය කරන්නාවූ ජීවීන් හට සලසන මෙහෙය අති මහත්ය. ජීවින් හට වාසස්‌ථාන සපයා දීමත් විලෝපික සතුන්ගෙන් සහ අතැම්විට ලාබාල ජලජ ජීවීන් තම මව් සතුන්ගෙන් ආරක්‍ෂා වීමටත් ජලජ පැළෑටි ඉවහල් වේ.

ජලජ ශාක මගින් එහි වෙසෙන ජීවින් හට සෙවණ සැපයීමක්‌ සිදුවීම ද තවත් එක්‌ වැදගත් කමකි. විශේෂයෙන්ම දිය ගෝවා, ජපන් ජබර, ඇසොල්ලා ආදිය මගින් මෙසේ ජලය තුළ ජීවත්වන්නා වූ ජීවීන් දැඩි හිරු එළියෙන් පීඩා විඳිමෙන් වලක්‌වා ගනී.

ජල මට්‌ටමෙන් මතුපිටට වැඩී පවතින ශාක විවිධ ජීවින් හට වාසස්‌ථාන සකසා ගැනීමට ඉවහල් වේ. විශේෂයෙන්ම පන් වර්ග ආදී ශාක ආශ්‍රිතව ජලාශ්‍රිත පරිසරයන්හි වෙසෙන පක්‍ෂි වර්ග තම වාසස්‌ථාන නිර්මාණය කරන අයුරු අප කොතෙකුත් දැක ඇත.

ජලය තුළ හා ජලයෙන් මතුපිටට වැඩෙන නොයෙක්‌ ජලජ පැළෑටි එම පරිසරයේ පාංශු ඛාදනය වැළැක්‌වීමට දායක වේ.

උදා(- අතුඩියන්. කෙටල, කෙකටිය, ආදිය ගංගා ඇළ, දොළ, වැව් ඉවුරු ආදියේ පස්‌ සෝදාගෙන යාම මඟ හැරවීමට වැදගත් වේ.

වතුරෙහි දියවී ඇති විවිධ පොහොර වර්ග, රසායනික ද්‍රව්‍ය මෙම පැළෑටි මගින් තම වර්ධනය සඳහා උරා ගන්නා නිසා ඉබේම ජල තත්ත්වය ඉහළ නැංවීම සිදුවේ. ඊට අමතරව ඇතැම් ජලජ පැළෑටි විෂ රසායනික ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාව පවතින බව මෑදකදී සොයා ගැනීමත් සමග ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ දී භාවිතයට ගැනීම සිදු කෙරේ. ජපන් ජබර, දිය සරුප, ලේන වලිග ආදිය එසේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ හැකියාව ඇති ජලජ පැළෑටි කිහිපයකි.

ජලජ පැළෑටි බොහොමයක්‌ විවිධ ආකාරයේ අලංකරණ කටයුතු සඳහා භාවිත වේ. ඉන් ප්‍රධාන තැනක්‌ ගනුයේ මත්ස්‍ය ටැංකි අලංකරණය සඳහා භාවිතා වීමයි. ඊට අමතරව ගෙවතු අලංකරණයේ දී නිර්මාණය කරන පොකුණු, දිය ඇළි ආදිය සඳහා මෙන්ම අභ්‍යන්තර ගෘහ අලංකරණ කටයුතු සඳහා ද මේවා විවිධ ලෙස භාවිතා වේ. මේ හේතු නිසා දෙස්‌ විදෙස්‌ ඉල්ලුම දිනෙන් දින ඉහළ යන අතර ස්‌වභාවික පරිසරයන්හි ඉබේ වැඩෙන පැළෑටි ද ඇතැම් විට ගලවා ඉවත් කිරීම සිදුවේ. එහි අනිසි ප්‍රතිඵලය වී ඇත්තේ අපගේ ස්‌වභාවික පරිසරයේ සමතුලිතතාවය ඉන් බිඳ වැටෙන අතර අප රටට ආවේණික පැළෑටි හා ජලජ ජීවින් විනාශ වී යැමට එය හේතුවීමයි. එබැවින් මෙම තත්ත්වය හමුවේ ජලජ පැළෑටි තවාන් තුළ වගා කිරීම දිරිගැන්වීම සිදු කළ යුතුය. එමෙන්ම අපනයනයේදී අවසරය ඇත්තේ මෙසේ තවාන් තුළ වගාකර ලබාගන්නා ජලජ පැළෑටි සඳහා පමණි.

සමහර ජලජ පැලෑටි ඉහළ ඖෂධීය වටිනාකමකින් යුක්‌ත වන නිසා දේශීය වෙදකම් සඳහා භාවිත වේ, එසේම නොයෙකුත් ඖෂධ වර්ග නිපදවීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිස්‌සාරණය කර ගැනීමට ද ඖෂධීය ජලජ පැළෑටි යොදා ගැනේ. උදාහරණ ලෙස අතුඩියන්, ලුණුවිල. වදකහ සහ කොහිල ආදී ඖෂධීය ශාක නම් කළ හැක.

ජලජ පැළෑටි විවිධ සතුන් හට මෙන්ම මිනිසාට ද ආහාරයක්‌ ලෙස වැදගත් වන අවස්‌ථා බොහෝය. සතුන් තම ආහාර ලෙස ජලජ පැළෑටි වල විවිධ කොටස්‌ භාවිත කරති. එසේම කෙකටිය. කොහිල, ලුණුවිල, කංකුං, දියබෙරළිය ආදි ජලජ ශාක අතීතයේ සිට ම මනුෂ්‍ය ආහාරයක්‌ ලෙස පරිභෝජනයට ගැනීම සිදු වේ.

මේ ආදී වූ විවිධ වැදගත්කම්වලින් යුතු වුවද ජලජ පැළෑටි විශාල වශයෙන් ජලාශ්‍රිත පරිසරවල ව්‍යාප්ත වීමෙන් විවිධ පාරිසරික ගැටලු ඇතිවීම සිදුවන බැවින් ඇතැම් ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය වැළැක්‌වීමට ද වග බලා ගත යුතුය. ජපන් ජබර, සැල්වීනියා, දිය සරුප, දිය හවරිය ආදිය ජලාශ වල ඉතා විශාල ලෙස බෝවීම සිදුවන අතර ඒවා විනාශ කිරීම අසීරු කටයුත්තක්‌ ව ඇත. ජලජ පරිසර වල නිදැල්ලේ පවතින පොහොර ප්‍රමාණයන් හැකිතාක්‌ අවම මට්‌ටමක පවත්වා ගැනීමත්, ජෛව පාලන ක්‍රම මගින් මෙම කරදරකාරී පැළැටි වර්ග විනාශ කිරීමත් සිදු කළ යුතුය.

කෙසේ වුවද ජලජ පරිසරයන්හි තුලිතතාවයට වැදගත් වන ජලජ පැළෑටි මෙන්ම අප රටට ආවේනික කෙටල, කෙකටිය සහ අතූසියන් වර්ග වඳවී යැමට ඉඩ නොදී සංරක්‍ෂණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමද කාලීන අවශ්‍යතාවකි.

මනෝරි බඹරැන්ද
ජලජීවී විද්‍යාඥ,
විසිතුරු මත්ස්‍ය අභිජනන සහ
පුහුණු මධ්‍යස්‌ථානය,
රම්බඩගල්ල, පානගමුව.