Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Thursday, February 24, 2011

බුද්ධ චරිතයෙන් පිළිබිඹු වන නායකත්ව ල ක්ෂණ

බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිසේ මාර්ගෝපදේශකයාණෝ වූහ. සමකාලීන දඹදිව විසූ වෙනත් ශාස්තෘවරයන් මෙන් තමන් වටා ගෝල පිරිසක් පිරිවරාගෙන ආගමික සංස්ථාවක නායකයකු ලෙස ක්රියා කිරීමට උන්වහන්සේ ප්රිය නොකළහ. පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවක අනඳතෙරණුවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පාලනය කරමියි කියා හෝ භික්ෂු සංඝයා තමන් වහන්සේ උදෙසා විසිය යුතුය කියා හෝ අදහසක් තමන් වහන්සේ තුළ නැති බව වදාළහ. එහෙත් උන්වහන්සේ බෝසත් අවධියේ සිටම ප්රජා නායකත්වයක් දීමේ අරමුණ ඇතිව කරුණාව ,වීර්යය, අධිෂ්ඨානය, ප්රඥාව වැනි ගුණාංග පෙරදැරි කොටගෙන ක්රියා කළ අන්දම බෝසත් සිරිත ඇසුරෙන් පැහැදිලි වෙයි.

ශ්රේෂ්ඨ නායකයකු තුළ තිබිය යුතු ගුණාංග බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පිළිබිඹු විය. ඒ නිසාම සමකාලීන සමාජය විසින් උන්වහන්සේ උදාර නායකයකු ලෙස පිළිගෙන තිබිණි. වරක් සේල නැමති බ්රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දඅක භවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ කෙරෙහි මහා පුරුෂ ලක්ෂණ ඇත. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ

බ්රාහ්මණය මම රජෙක්මි. ශ්රේෂ්ඨ ධර්ම රාජයෙක්මි. අන් කිසිවෙකුටත් පැවැත්විය නොහැකි ධර්ම රාජ්යය මම පවත්වාගෙන යමි යි වදාළහ.

පසේනදි කොසොල් රජතුමා වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ , උන්වහන්සේ නායකත්ව ලක්ෂණ අගය කළ අන්දම මජ්ජ්ම නිකායේ ධම්මචේතිය සූත්රයේ සඳහන් වේ. තමන් මහා බලයක් ඇති රජෙක්ව සිටියද රාජ සභාව සම්පූර්ණ නිශ්ශබ්දතාවකට පත්කර ගැනීමට අපහසුවන අවස්ථා ඇති බව රජතුමා පැවසීය. එහෙත් බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස මධ්යයේ ධර්මදේශණා කරන විට කිසිවෙකුත් කිවිසුමක ශබ්දයක් පවා ඇති නොකරමින් ඉමහත් ගෞරවයකින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සවන් දෙන බව රජතුමා පවසා සිටියේ බුදුරජාණන් වහන්සේගේ නායකත්වය ප්රශංසාවට ලක් කරමිනි.

බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට චරිතය උන්වහන්සේගේ නායකත්වය ප්රකට කරන එක් ලක්ෂණයකි. රහසින්වත් පව් නොකිරීම, විශ්වව්යපී කරුණාව, මෛත්රය, අධිෂ්ඨාන ප්රතිබද්ද විර්යය, ආත්ම පරිත්යගය, තමන් සතු සියලු සැප සම්පත හැර දැමීමෙහි ලා පැවති නිරාශාව , නිරහංකාරත්වය, අයුක්තියට නොසැලකීම , යුක්තියට ගරු කිරීම, ආදී ගුණ සමුදායෙන් උන්වහන්සේගේ චරිතය පරිපූර්ණ විය.මහා සීහනාද සූත්රයෙහි සඳහන් වන පරිදි මහළු වියෙදී වුවද උන්වහන්සේගේ එම අභ්යන්තර ගුණ සමුදායේ පිරිහීමක් , ඌණතාවක් ඇති නොවීය.

සමාජයේ සියලු දෙනා කෙරෙහි සමානතාවයෙන් යුතුව සැලකීම ද , බුදුරජාණන් වහන්සේ තුල පැවති විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. බුදුරදුන් පහළ වන අවධියේ දඹදිව කුළ භේද දැඩි ලෙස පැතිරී තිබිනි. එහෙත් උන්වහන්සේ කුළ භේදය මුළුමනින්ම ප්රතික්ෂේප කළහ. උසස් පහත් වශයෙන් ප්රභේද කොට පැවති සෑම ජාතියකටම කුලයකටම අයත් වූවන්ට බුදුසසුනේ පැවදි වීමට ඉඩ සලසා දුන්නේ උන්වහන්සේ තුල පැවති සමානාත්මතා ගුණය නිසාය. ගංගා , යමුනා, අචිරවතී , සරභු, මහී යන පංච මහා ගංගාවන්හි ජලය මහා සමුද්රයට පිවිසි කළ එම ජලය වෙන් වශයෙන් නොසලකා මුහුදු ජලය ලෙස හඳුන්වන්නාක් මෙන් කවර වර්ණයකට අයත් පිරිසක් වුවත් සසුන් ගත වූවිට ශ්රමණ ශාක්ය පුත්ර යන නමින් හැදින්වෙන බවත් , බුදුරජාණන් වහන්සේ වදාළහ.උන්වහන්සේ තම ශ්රාවකයන්ට වගකීම් පැවරීමේදී වුවද උසස් පහත් භේද නොසලකා දක්ෂතාවන්ට මුල් තැන දී ක්රියා කලහ.රජුන් ඇමතියන් මෙන්ම ගොවීන් කම්කරුවන් දාසි දාසාදීන් වූ කවර තරාතිරමේ කෙනෙකු පිළිබඳ වුවද සමානාත්ම තාවෙන් යුතුව උන්වහන්සේ ක්රියා කළහ.
තම ශ්රාවකයින්ට නිසිකල්හි සුදුසු පරිදි වගකීම් පවරා දීම බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් පිළිබිඹු වන තවත් නායකත්ව ලක්ෂණයකි. පැවිදි උපසපන් කිරීමේ වගකීම මුලදී බුදුරජාණන් වහන්සේ විසින් ම සිදු කරනු ලැබූ නමුත් , නොබෝ කලකින්ම ඒ ඒ දිසාවල හා ජනපද වල ශ්රාවකයින් වහන්සේටද පැවිදි උපසපන් කිරීමේ වගකීම භර කළහ. ශාසනික භාරය විමධ්යගත කිරීමක් හැටියට සැලකිය හැකි මෙය බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ සුවිශේෂ ලක්ෂණයකි. මේ හැරුනු විට තම ශ්රාවකයින් වහන්සේලාට වෙනත් යම් යම් වගකීම් පැවරූ අවස්ථා පාළිබදව සදහන් වෙයි. සච්චවිභංග සූත්ර දේශණාවේදී චතුරාර්ය සත්යය , මාතෘකාව වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සදහන් කොට , එය විස්තර කිරීමට සැරියුත් තෙරණුවන් සුදුසු යයි දන්වා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් බැහැර වීම එවැනි අවස්ථාවකි. ගිලන්ව සිටි ගිරිමානන්ද තෙරණුවන් වෙත වඩින ලෙස අනඳ තෙරණුවන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ, උන්වහන්සේ දස සඤ්ඤා දේශනා කොට , එය ගිරිමානන්ද තෙරණුවන්ට දේශනා කිරීම සඳහා ආනන්ද තෙරණුවන් පිටත් කර යැවීම ද එවැනි සිද්ධියකි.

බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක පිරිසේ දක්ෂතා හා ප්රවීණතා හඳුනාගෙන ඊට අනුකූලව විවිධ තොරතුරු ප්රදානය කළහ. පැරණිතම ශ්රාවකයන් වහන්සේ හැටියට අඤ්ඤා කොන්ඩඤ්ඤ තෙරුන්ට ද මහනුවණැති ශ්රාවකයන් අතර සැරියුත් තෙරණුවන්ට ද,ඍධිවතුන් අතර මුගලන් තෙරුන්ටද ,ධූතාංග ධාරීන් අතර මහා කාශ්යප තෙරණුවන්ටද , ආදී වශයෙන් අග තනතුරු ප්රදානය කළ අන්දම අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙන් සඳහන් වෙයි.

තම අනුගාවිකයන් ආරක්ෂා කර ගැනීමට ක්රියා කිරීමද බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පිළිබිඹු වන තවත් නායකත්ව ලක්ෂණයකි.උන් වහන්සේ සැමවිටම තම ශ්රාවකයින් බැහැරින් වන උවදුරු චොදනා ආදියෙන් ආරක්ෂා කර ගැනීමට කාරුණික වූහ කුමාර කාශ්යප මාතාවට දරුගැබක් පිහිටීම පිළිබද සිද්ධියේදී ඉතා සාධාරණ විනිශ්චයක් ලබාදී එතුමිය චෝදනාවෙන් මුදවා ගත්හ. තම ශ්රාවක පිරිසේ යමකු නොමඟ යන අවස්ථාවක් දුටු විට අනුකම්පාවෙන් අවවාද දී සමඟට හැරවෘමට , ඇතැම් විට උපක්රමශීලීව ක්රියා කළහ. නන්ද තෙරණුවන් . කාල සිටුපුත්, ඛේමා බිසව , ආදීන් එසේ සුමඟට හරවාගත්තවුන් පිළිබද නිදසුන්ද.

ජනමතයට ඇහුම්කන් දීමද බුද්ධ චරිතයෙන් ප්රකට වන විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. ශ්රාවකයන් සඳහා ඇතැම් විනය නීති පණවන ලද්දේත්, සංශෝධනය කරන ලද්දේත් , ජන මතයට ගරු කිරීමක් වශයෙනි. වැසි කාලවලදී තම ශ්රාවකයන් චාරිකා කිරීම නවතා ආරාමවල ම විසිය යුතුය යන විනය නීතිය පනවන ලද්දේ ජනමතයට ගරු කිරීමක් වශයෙනි.ජීවක වෛද්යවරයාගේ ඉල්ලීම මත භික්ෂූන් වහන්සේට අතිරේක ගෘහපති චීවරය පිළිගැනීමට අවසර දීම ද මේ පිළිබඳ තවත් නිදසුනකි. භික්ෂූන් වහන්සේට අවශ්ය වැසිසළු, ගිලන් බෙහෙත් , ආගන්තුක බත් ආදිය අනුදැන වදාලේ විශාඛාවන් විසින් කරන ලද මෙවැනිම ඉල්ලීමක් නිසා බව මහා වග්ග පාලියේ සඳහන් වෙයි.

ආදර්ශවත් වීම බුදුසිරිතේ ප්රකටවන තවත් නායකත්ව ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත වූහ. දේශනාවත් ඊට අනුරූපව ක්රියා කිරීමත් උන්වහන්සෙගේ චරිතයෙන් නිරතුරුවම දක්නට ලැබෙන්නකි.බුදුරදුන් අල්පේච්ඡතාවේ අගය දේශනා කළේ තමන් වහන්සේ ද අල්පේච්ඡතා ජීවිතයක් ගත කරවින්ය. අහංකාරකමේ ආදීනව වදාළේ නිරහංකාර වීමෙන්ය. රජ සිටු ආදීන්ගේ අපමණ පූජා සත්කාර විදිමින් උන්වහන්සේට කල් ගෙවීමට හැකිව තිබුණි . එහෙත් උන්වහන්සේ නිරහංකාරව පිඬුසිඟා යාමෙන් යැපුණහ.

මෙසේ විමසා බලන විට බුදුරජාණන් වහන්සේ විශිෂ්ට නායකත්ව ලක්ෂණ වලින් යුක්ත ශාස්තෘවරයකු ලෙස හැදින් විය හැකිය.අපිද උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගෙන නායකයින් වශයෙන් වගකීම් පැවරෙන අවස්ථාවලදී ක්රියා කිරීමට අදිටන් කර ගනිමු.