Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Saturday, January 15, 2011

හිරු දෙවි පුදන මහ උළෙල තෛපොංගල්

ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයකි හිරු. හිරු නොමැතිනම් මෙලොව ජීව වස්තු කිසිවකට පැවැත්මක් නොමැත. මිනිසාගේ පැවැත්මටත් හිරු අත්‍යවශ්‍ය සාධකයකි. මිනිසාට අවශ්‍ය ආහාර ශාක පත්‍රවල නිෂ්පාදනය කරන්නේ හිරුගේ උපකාරයෙනි. එම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැඳින්වේ. එනම් හිරුගේ ශක්තියෙන් ශාක පත්‍රවල ආහාර නිෂ්පාදනය කිරීම මින් අර්ථවත් කෙරේ. ප්‍රධාන වශයෙන් හිරු සියලු ජීව රාශින්ට ජීවත්වීමට ශක්තිය ලබාදුන් නිසා ලොව සෑම ජීවියෙක්ම හිරුට සදා ණය ගැතිය.
මෙම ණයගැතිභාවයෙන් මිදීම පිණිස ලෝකයේ බොහෝ ජාතීන් හිරු දෙවියන් පුදනු ලබති. තෛපොංගල් දිනය හිරු දෙවියන්ට පූජෝපහාර කරනු ලබන දිනයයි. තෛපොංගල් යනුවෙන්ම නැතිවුණත් මෙම උත්සවය කැනඩාවේ, ජපානයේ, කොංගෝ දූපත්වල, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව තවත් රටවල් කීපයක හිරු දෙවියන් නිමිතිකරගෙන තෛපොංගල් උත්සවය සමරති. වර්තමානයේ ලොව පුරාම විසිරී පැතිරී සිටින දෙමළ ශ්‍රී ලාංකිකයන් සිටින රටවල තෛපොංගල් සමරති.
“තෛ” යනුවෙන් අදහස් කරනු ලබන්නේ ‘තෛ’ මාසය නොහොත් ‘දුරුතු’ මාසයයි. “පොංගල්” යනුවෙන් අදහස් කරන්නේ “ඉතිරවීමයි”, එනම් කිරි ඉතිරවීමයි. මෙම කිරි ඉතිරවීම සිදුකරනු ලබන්නේ සූර්යා උදෙසාය. හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ “ආහාරපාන” සපයා ගැනීමට උදව් උපකාර කරන සියලුම ජීව අජීව රාශින්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීමටය. තෛපොංගල් දිනයේ නියම අර්ථය වනුයේ ගොවිතැනට උපකාරිවන සියලුම ජීව අජීව වස්තුන්ට කෘතවේදීව සැලකීම වේ. “සිලප්පදි කාරම් කෘතියේ කතුවරයා තෛපොංගල් දිනය සැමරීම වස් මෙසේ සඳහන් කර ඇත.
එහි දෙවියන් උදෙසා ප්‍රශස්තියකින් මෙසේ පෙන්වා දෙයි. “ඤායිරු පොර්ටෘවෝම් ඤායිරු” මෙහි “ඤායිරු” යනුවෙන් අදහස් කරනු ලබන්නේ හිරුයි. “පොර්ටෘවෝම්” යන්නෙන් “ප්‍රශස්ත ගායනා” යන්නෙන් අදහස් වෙයි. මෙයින් පෙන්වා දියහැකි කරුණක් වන්නේ “හිරුට” ප්‍රශස්ත ගායනා කර පූජෝපහාර දක්වමු යන්නයි. පූජෝපහාර දක්වන්නේ කිරි ඉතිරවීමෙනි. මෙම කිරි ඉතිරවීම සිදු කිරීමෙන් අනතුරුව හින්දුන් එම හැලියේම කිරිබතක් පිස දෙවියන්ට පුදනු ලබති. මෙම තෛපොංගල් උත්සවයේ සත්‍ය විද්‍යා වටිනාකමක් ද ඇත. එනම්, මෙම උත්සවයට පෙර දින සිටම දෙමළ හින්දු ජනතාව කෙරෙනු ලබන වතාවත්වලින් එය ඉස්මතුවී පෙනේ.
තෛපොංගල් දිනය එළඹෙන්නට පෙර දින සියලුම ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍රකර පරණ දෑ ඉවත් කොට කිරි ඉතිරවීම සඳහා සුදුසු භූමිභාගයක් තෝරා ගනිති. මෙම භූමි භාගයට අනිවාර්යයෙන්ම හිරු එළිය වැටී තිබිය යුතුය. එම භූමිභාගය බොහෝවිට නිවෙස් තුළ එළිමහනේ සකස් කර ගැනීමට අමතක නොකරති. මෙසේ තෝරාගත් භූමිභාගය මත ගොම සහිත මැටි පිරියම් කර සකස් කරගනිති. ඉන් අනතුරුව හතරස් භූමියක්සේ සකස් කොට මුළු හතරෙහි කෙසෙල් ගස් සිටුවා එම කෙසෙල් ගස් අතර කොඩි වැල් ඇද එම කොඩිවැල්වලට අඹ කොළ එල්ලති.
භූමියේ හුණුවලින් හෝ හාල් පිටිවලින් “කෝලම් රටා” දමති. (මල්රටා) මෙම කෝලම් රටාවලින් සශ්‍රීකත්වය පිළිඹිබු වේ. හාල්පිටිවලින් කෝලම් (මල් රටා) නිර්මාණය කිරීමේදී පරමාර්ථයක් ඇත. එනම් පොළවේ වෙසෙන කුඩා කෘමීන්ට ආහාරයක් වන්නට මෙම හාල්පිටි යොදා ගනිති. තවද මෙම භූමිභාගය තුළ අලුත් ලිපක් කරවා අලුත් මුට්ටියක කිරි උතුරවා ගනිති. මෙම කිරි ඉතිරෙන අවස්ථාවේදී නිවසේ සියලුදෙනාම පොංගලෝ පොංගල්, කයි පූසී වායි පූසී පොංගලෝ පොංගල්’ කියා භක්ති පූර්වකව හිරු දෙවියන් නමස්කාර කරති. අනතුරුව මෙම කිරි මුට්ටියට හාල්, සක්කර, මුං, පලතුරු ආදිය දමා රසවත් කිරිබතක් පිසගනිති.
මෙම කිරිබත සමඟ රසකැවිලි එම භූමි භාගයේදී කෙසෙල් කොළවලට දමා දෙවියන්ට පුදති. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ අතීතයේ ගොවියා ඉතා දුක්මහන්සියෙන් ගොවිතැන් කර ලබාගන්නා අස්වැන්න කොටස් හය (6) කට බෙදා ගනිති. ඉන් එක් කොටසක් රජතුමාට පරිත්‍යාග කරති. එය රටේ පරිපාලනමය කටයුතු සඳහාය. තවත් එක් කොටසක් ආගන්තුක සත්කාරය සඳහාත් තවත් කොටසක් නෑදෑ හිතමිතුරන්ටත් දෙති. මෙයින් එක් කොටසක් සතුන්ටත්, දෙවියන් පිදීමටත් දෙන අතර, අවසාන කොටස පවුලේ නඩත්තුව සඳහා යොදා ගැනේ.
මෙසේ දෙවියන් සඳහා පූජා කරන කොටස තෛපොංගල් දිනයේදී ස්වභාවධර්මයාට පූජා කිරීමට යොදා ගනියි. එදින කිරි ඉතිරවා කිරිබත් පිස අනතුරුව එම කිරිබත් නිවැසියන් සියල්ලන්ට ද අනෙක් නෑදෑ හිතමිතුරන්ට ද කෑමට දෙති. ඉන් සූර්යා පූජෝපහාර නිමාවුවත් දවසේ ආගමික වතාවත් කිරීමට යාමට ඉතා වැදගත්ය. සාමාජීය වශයෙන් ක්‍රීඩා උත්සව පැවැත්වීම නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට යාම ආදී කටයුතු කරති. සාමාන්‍යයෙන් දෙමළයේ ප්‍රස්ථාපිරුලක් මෙසේ වෙයි. “තෛජිරන්දාල් මලිජිරක්කුම්” තෛමාසය ලැබුවහොත් මාවත විවෘත වේ හෝ මාවතක් ඉපදේ යන අර්ථය දේ.
එනම් දෙමළ ජන සමාජය දුරුතු මාසය ලැබීම වාසනාව ලැබීම යනුවෙන් විශ්වාස කරනු ලැබේ. තව ද ශ්‍රී ලාංකේය දමිළ ජනයා පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වෙසෙන දමිළ ජනයා තෛ මාසය නොහොත් දුරුතු මාසය සෞභාග්‍ය උදාවූ මාසය ලෙස සලකන්නේ ඔවුන්ගේ සෞභාග්‍ය උදාවන්නේ මෙම මාසයේදී බව ඔවුන් විශ්වාස කරනු ලබන නිසාය. එබැවින් තෛ මාසයේ නොහොත් දුරුතු මාසයේදී ඔවුන් මෙසේ සිතති. “උන්ඩ්‍රි කොඩුත්කෝරේ උයර් කොඩුත්කෝර්” මෙම දෙමළ ප්‍රස්ථාපිරුලෙන් හැඟෙන්නේ “හදවතින් දුන් අය පණ ලබාදුන් අය වේ.” එනම් දෙනවිට ලෝභය නොමැතිව ඉතසිතින්ම දිය යුතුය යන අදහස මතුවේ. එමනිසා මෙම මාසයේදී මෙම දවසේ දානය දී පිනක් සිද්ධ කරගැනීම ද මෙහිදී සිදුකරනු ලබති.
තෛපොංගල් දෙවැනි දිනය මෙවර යෙදී ඇත්තේ 16 වෙනි දිනටය. එනම් එදින තම ගොවිතැනට උදව් උපකාර කළ සත්ව සමූහයාට කෘතවේදී වීමට අමතක නොකරති. එය “පට්ටි පොංගල්” යනුවෙන් හඳුන්වති.  පට්ටි පොංගල්වලදී ගවයන්, එළුවන්, බැටළුවන් ආදී සතුන්ව නහවා උන්ව අලංකාර කර කිරිබතක් පිස ඔවුන්ට කිරිබත් කැවිලි, පෙවිලි සහ කෙසෙල් ගෙඩිවලින් සංග්‍රහ කරති. මෙම සාමාන්‍යයේ මෙවර නම් 16 වෙනි දිනයේ හවස එනම් හිරු බැස යන වේලාවේ සිදුකරනු ලබති.  ගවයන්, එළුවන් ඇතිකරනු ලබන උදවියට එම ගවහල්, එළුපට්ටි සුද්ධපවිත්‍ර කර අඹ අතු, ගොක් අතු එල්ලා එය සරසා උත්සවාකාරයෙන් එම උත්සවය කරනු ලබති.
කිරිබත පිසිගත් පසු එය ගණදෙවියන්ට පුදා පිසගත් කැවිලි පෙවිලි කෙසෙල් ගෙඩි සියල්ල පුදා ගෘහමූලිකයා ඇතුළු නිවසේ සෑම ගවහල, එළුහල වටේට හිඳ “ආට්ටුප් පොංගල්, මාටුජපොංගල්, පොංගලෝ පොංගල්” යන බෙදා හඬ නඟා කෑගසති. අනතුරුව දෙවියන් වැඳ අවසානයේදී තමන් සතුව ඇති සියලුම සතුන්ට සංග්‍රහ කරනු ලබති. එයද ඉතා හොඳ සද්ක්‍රියාවක් බව පෙනේ. තෛපොංගල් දිනයේදී ඵල නොදරන ගස්වැල්වලට කරන සත් ක්‍රියාව ද දෙමළ ජනසමාජයේ ඇත. මෙය ද තෛපොංගල් උත්සවයේ අංගයකි. ඵල හට නොගන්නා ගස්වලට හෝ මල්හට නොගන්නා ගස්වලට පහරදීමේ ක්‍රියාවලියයි. මේ ක්‍රියාව ද පොංගල් දිනයේ දීම සිදුකරනු ලබන්නේ කිරිබත පිසීමට ගන්නා පොල්කටු හැන්දෙනි.
මෙසේ පහර දුන් පසු ඉක්මනින්ම මල් හට ගෙන ඵල හටගනීවි යන විශ්වාසයක් දෙමළ ජනතාව තුළ ඇත. පොල්, අඹ, කොස්, තල් වැනි ඉතා ප්‍රයෝජනවත් ගස්වලටත් ඵල ඛ්ටනොගන්නා අනෙක් ගස්වලටත් මෙම “කෙම් ක්‍රමය” කිරීමට දෙමළ ජනතාව පුරුදුවී සිටිති. මෙසේ ගස්වලට පහර දෙනවිට මල් හැදෙන්නේ නැද්ද, ගෙඩි හැදෙන්නේ නැද්ද යනුවෙන් කිය කියා එක් අයෙකු ගසට ගසන විට තවත් අයෙක් මල් හදම්, ගෙඩි හදම්” යනුවෙන් පිළිතුරු දෙති. තෛපොංගල් දෙමළ ජනතාවගේ සමාජ විද්‍යාත්මක පැති ගණනාවක් විග්‍රහ කරනු ලබයි.
මන්ද මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ සියලුම ජීවරාශිවලට කෘතවේදී බව සැලකීම උවත්, එම ජනසමාජයේ විවිධ පැතිකඩවල් විග්‍රහ කරන බව පෙනේ. එනම් පවුලේ සමඟිය, තම ජීවිතවල ලෞකික අරමුණු ඉටුකරගැනීම, අජීව වස්තුවලට සැලකීම, පවුලේ සමගිය උන්නතිය සශ්‍රීකත්වය වැනි කරුණු අරමුණු කරගෙන තෛපොංගල් උත්සවය සමරන බව පෙනේ. මෙලොව දියුණූවට සශ්‍රීකත්වය පත්කරගැනීමට ද මෙහි එක් අරමුණකි. එනම් මෙම දිනයේදී සිදුකරනු ලබන දානමය පුණ්‍යයක්‍රියා එයට බලපානු ලැබේ. මෙසේ බලන විට තෛපොංගල් උත්සවය ආගමික සාමාජික උත්සවයක් පමණක්නොව මුළු ජනසමාජයම එකට සමගිව ඒකරාශි කරනු ලබන උත්සවයක් බව අපට කිව හැකිය.