අනගාරික ධර්මපාලතුමා | |
උපත | 17 සැප්තැම්බර් 1864 කොළඹ, ලංකාව |
---|---|
මරණය | 29 අප්‍රේල් 1933 (වයස 69) ඉන්දියාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | දොන් ඩේවිඩ් හේවාවිතාරණ |
අධ්‍යාපනය | කොළඹ ඇකඩමිය |
ප්‍රසිද්ධියට හේතුව | ශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරය, බුද්ධාගමෙහි පුනර්ජීවනය |
ආගම | බුද්ධාගම |
පටුන[සඟවන්න] |
[සංස්කරණය] අධ්‍යාපනය
පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන) ය.ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ.1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය.[1] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය.
[සංස්කරණය] පරම විඥානාර්ථ සමාගම
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් (C.W. Leadbeater) බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය.සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශයේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
[සංස්කරණය] බෞද්ධ ධර්ම ප්‍රචාරය
1893 දී පවැති දෘෂ්ටි සම්මේලනය
වමේ සිට දකුණට: වර්චාන්ද් ගාන්ධි, අනගාරික ධර්මපාල, ස්වාමි විවේකානන්ද, දකුණට ම වන්න සිටින පුද්ගලයා G. Bonet Maury විය යුතු ය.
වමේ සිට දකුණට: වර්චාන්ද් ගාන්ධි, අනගාරික ධර්මපාල, ස්වාමි විවේකානන්ද, දකුණට ම වන්න සිටින පුද්ගලයා G. Bonet Maury විය යුතු ය.
1890 වසරේ දෙසැම් බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන් දනය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.
බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය. ඔහු ගේ අභාවයෙන් පසුව, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය.[4]
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.
ඉංගිරිසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව, චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය.
බුදු දහම ප්‍රචාරය කිරීමට, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංගිරිසි සඟරාව ඇරඹී ය.
[සංස්කරණය] නිදහස් අරගලය
ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය, ගොවිකම හැදෑරු මුනසිංහ, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය.
[සංස්කරණය] අවසන් සමය
හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධර්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.1933 දී ධර්මපාල හිමියෝ අපවත් වූහ. ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන් දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.