Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Thursday, January 27, 2011

බණ පදයක් අහන්න මෙතනින් ක්ලික් කරන්න

http://www.sribuddhist.com/index.php/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA/2010-10-16-16-24-16.html

මනස සනසන පිරිත් සුතුර

සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන්, අධිෂ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබන්නා වූ ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි පිරිත. ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන් දෙන විටත්, හඬනඟා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කෙතරම් සුවයක් ගෙනදේද?
දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබට ප්‍රබෝධවත්ව සිටීමට හේතුකාරක වන බව මම අත්දැකීමෙන් දනිමි.
වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ පිරිත් සජ්ඣායනා කිරීම මාගේ පුරුද්දයි. ඉන්, මගේ සිතට ගතට සිසිලක් ලැබේ.
වරක් එක්තරා විද්‍යුත් මාධ්‍යයක් මා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
මීට වසර 30 කට පෙර, ඔබට සවන් දුන් ශ්‍රාවකයන් කියනවා, ඔබේ කටහඬ, එදා වසර 30 කට පෙර තිබුණු කටහඬම, අදත් ඔබ රැකගෙන තිබෙන බව, මේ තත්ත්වය රැකගන්නට ඔබේ කටහඬට කිසියම් අභ්‍යාසයක්    (Voice Training) කරනවාද?
මගේ කටහඬ රැකගන්නට මා කරන එකම අභ්‍යාසය දිනපතාම ශබ්ද නගා පිරිත් සජ්ක්‍ධායනා කිරීමයි. තුන් සූත්‍රය, බෝජ්ජංගය, ධජග්ගය, මෝර පිරිත, අටවිසි පිරිත, ජය පිරිත, ජිනපඤ්ජරය, මහා ජයමංගල ගාථා, සීවලී පිරිත, මා දිනපතාම ශබ්ද නගා සජ්ඣායනා කරනවා ගෙදරටම ඇහෙන්න.
මෙම පුරුද්ද මට කුඩාකාලයේ සිටම හුරුපුරුදු වූයේ මාගේ මෑණියන් වහන්සේ බුදුන් වඳින විට ඇය සමීපයෙන්ම සිට ඇය කී පිරිත, දොහොත් මුදුන් දී අසා සිටි බැවිනි. බුදුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළ අවස්ථාවේ දිවාගුහාවේ සිට දේශනා කරන ලද පිරිත් සජ්ඣායනය අදත් ඇසෙන බව ඇය පවසනවා මම අසා ඇත්තෙමි.
ඉන්දු ආර්ය යුගයේ සිටම දේවිදේවතාවන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා ගීතිකා ගායනා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. භාරතයේ සෘග්වේදය ආදී වේද ග්‍රන්ථ වලත්, භගවත් ගීතාව වැනි ආගමික, සාහිත්‍ය ග්‍රන්ථ තුළත්, මේ දර්ශනය අන්තර්ගත වේ.
භගවත්ගීත සජ්ඣායනා කිරීම, අද හින්දුන් අතර ප්‍රචලිත ය. සතුරන් ජයගැනීම, නිරෝගී බව, සම්පත් වර්ධනය, දරුඵල ලැබීම, අව්ව වැස්ස ලබාගැන්ම, සඳහා ඉන්දියාව එදා වේද සජ්ඣායනා භාවිතා කළේ ය.
බෞද්ධයන්ට පිරිත් පොත හා ජාතක පොත තරම් උතුම් පොත් දෙකක් තවත් නොමැත. එමනිසා, ඒවා හඳුන්වන්නේ පිරිත් පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ වශයෙනි.
පිරිත් පොතේ ඇති ප්‍රධාන අන්තර්ගතය සතර බණවර ලෙස හැඳින්වේ.
පළමු බණවරට - සරණාගමනය, දස සික්ඛා, සාමනේර පඤ්හා, ද්වස්තිථියාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන හා කරණීය තුන් සූත්‍ර, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූර්ය, ධජග්ග, ඇතුළත් වෙයි.
බොජ්ඣංග, ගිරිමානන්ද, ඉසිගිලි මහා කස්සප ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දථෙර බොජ්ඣංග, පරිත්ත දෙවන බණවරයි.
තුන්වන හා හතරවන බණවර දෙක ආටානාටිය සූත්‍රයේ සජ්ඣායනය වේ.
මේවාට අමතරව, සූත්‍ර 7 ක් ඇත. ඒවා සූත්‍ර දේශනා ලෙස හැඳින්වේ. ධම්මචක්කය, මහාසමය, ආලවක, පරාභව, අග්ගිභාරද්වාජ, සච්චිවිභංග යයි.
පසු කලෙකදී පිරුවානා පොත් වහන්සේ සතර බණවරට පමණක් සීමා නොවිණ. දෛනික අවශ්‍යතාවයන් සඳහා ජය පිරිත, ගිහිපිරිත, සීවලී පිරිත සජ්ඣායනා කිරීම ද සිදුවිය.
පිරිත් සූත්‍ර දේශනා අතුරින් ප්‍රධාන සූත්‍ර පහකි. එනම්,
1. රතන, 2. චන්ද, 3. ධජග්ග, 4. මෝර, 5. ආටානාටිය
පිරිත් පොත බණවර නමින් කොටස් 4 කට බෙදා ඇත.
පළමුවන බණවර අවසන් වන්නේ ධජග්ග සූත්‍රයෙනි. දේවාරාධනය, නමස්කාරය, ජයමංගල ගාථා, මංගල රතන, කරණීයමෙත්ත, ධම්මචක්ක, බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ක්‍ධංග ධජග්ගයට පෙර දක්නට ලැබෙන සූත්‍රයන් ය.
දෙවැන්න අවසන් වන්නේ ඉසිගිලි සූත්‍රයෙන් ය.
තෙවැන්න අවසන්වන්නේ ආටානාටිය සූත්‍රයේ මුල් කොටසින් ය. සිව්වැන්න නිමවන්නේ ආටානාටිය සූත්‍රයේ අවසන් කොටසින් ය.
චතුබාණවරපාලියට අයත් සූත්‍ර දේශනා ලබාගෙන ඇත්තේ නිකායවලින් ය. ඒවා නම් බුද්දක (12) අංගුත්තර (05) සංයුත්ත (08) දීඝ (02) මජ්ඣිම (02) වශයෙන් ය.
තෙරුවන් සරණයාම ප්‍රථමයෙන් ඉටුකිරීම, පිරිත්වලට පමණක් නොව, සියලුම බොදු වත්පිළිවෙත්වලදී පොදු ය. පිරිත් දේශනා “සරණාගමන” යාමෙන් ඇරැඹේ. මින් අදහස් කරන්නේ බුදුන් දහම්, සඟුන් සරණයාමයි. එයින් තමන් හට ආරක්‍ෂාව ලැබේ. චතුභාණා වරපාලියේ අඩංගු සූත්‍රයන්ගේ ආරම්භවන්නේ එපරිද්දෙනි. දෙවැන්න “දශසිඛ” නම් වේ. ශික්‍ෂා පද දහයකි.
මුළු මහත් සක්වල මහානුභාව ඇතැයි පැවසේ. මෙහිදී පිරිත් සූත්‍රයන්ගේ ආනිසංස දක්වන මිලින්ද ප්‍රශ්නයේ කොටසක් මෙහිලා උපුටා දක්වමි.
“කරන ලද පිරිත් ආරක්‍ෂාව ඇති පුරුෂයා, නාගයා දෂ්ඨ නො කරන්නේ ය. මුඛය පියාගන්නේ ය. සොරුන් විසින් තලන්නට ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු, මුගුරු දමා ළඟට අවුත් ප‍්‍රියවන්නේ ය. කුපිත වූ හස්තිරාජ තෙම ළඟට දිව අවුත් වලකින්නේ ය. දිලිසෙන මහා අග්නිද ඛන්දය ළඟට පැමිණ නිවෙන්නේ ය. අනුභව කළ විෂ පවා අමෘත බෙහෙත් වන්නේ ය”
පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඒ මඟින් පිරිතේ අනුභාවය හා ආරක්‍ෂාව ලැබේ. සිංහල බෞද්ධයා තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. පිරිතේ ආශිර්වාදයෙන් ලොව බිහිවූ එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණයෙන් පිරිත් නූලෙන් ලද ආශිර්වාදය කියැවෙයි. හෙල රජ දරුවන්, පිරිත ජාතියටම ආශිර්වාදයක් කරගත්තේ ය. රුවන්මැලි මහාසෑයේ ධාතූන් නිදන් කරන විටදී, මහා සංඝරත්නය මුළු රෑ පිරිත් ධර්මය දේශනා කළහ.
මිනිසාගේ එලොව මෙලොව යහපතට හේතුවන දේ, කරුණු මංගල නම් වේ. එවැනි මංගල කරුණු 38 ක් මංගල සූත්‍රයේ ඇතුළත් ය. අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට මෙම මංගල කරුණු බලපාන බැවින් ඒවා පහත දක්වමි.
අටතිස් මංගල කාරණා, බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ මහා මංගල සූත්‍රයට ඇතුළත් යහපත් ජීවිතයකට අවශ්‍ය කරුණු තිස් අට
1. බාලයන් සේවනය නොකිරීම, 2. පණ්ඩිතයන් සේවනය කිරීම, 3. පිදිය යුත්තන් පිදීම, 4. යහපත් ප්‍රදේශයක විසීම, 5. පෙර කළ පින් ඇති බව, 6. සිත මනා කොට පිහිටුවීම, 7.බහුශ්‍රැත බව, 8. ශිල්ප දැනීම, 9. මනා හික්මුණු විනය ඇති බව, 10. හොඳ වචන කතා කිරීම, 11. මවට උපස්ථාන කිරීම, 12. පියාට උපස්ථාන කිරීම, 13. අඹු දරුවන්ට උපස්ථාන කිරීම, 14. නිරවුල් කර්මාන්ත කිරීම, 15. දන්දීම, 16. දසකුසල ධර්මයේ හැසිරීම, 17. ඥාතීන්ට සංග්‍රහ කිරීම, 18. නිරවද්‍ය කර්මාන්ත කිරීම, 19. පවෙහි නොඇලීම හා වැළකීම, 20. කුසල ධර්මයන්හි නොපමා බව, 21. ගරු කළ යුත්තන්ට ගරු කිරීම, 22. යටත් පහත් පැවතුම් ඇති බව, 23.ලද දෙයින් සතුටු වීම, 24. කෙළෙහි ගුණ දන්නා බව, 25. නිසි කල බණ ඇසීම, 26. ඉවසීම, 27. කීකරු බව, 28. ශ්‍රමණයන්ගේ දැකීම, 29.නිසි කල ධර්ම සාකච්ඡා පැවැත්වීම, 30. සිල් රැකීම, 31. බ්‍රහ්මචාරී වීම, 32. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම, 33. අෂ්ඨලෝක ධර්මයෙහි දී සිත කම්පා නොවීම, 34. ශෝක රහිත බව, 35. රාග රහිත බව, 36.භය නැති කම, 37.මත්පැනින් වැළකීම, 38. නිවන් අවබෝධ කර ගැනීම.
පෙර විසාලා මහනුවර වැසි නොවැසීමෙන් දුර්භික්‍ෂයක් ඇති විය. ආහාර හිඟවීමෙන් බොහෝ දෙනා මළහ. රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂය දුරුකිරීමට අනඳ හිමියෝ බුදුන්ගේ පාත්‍රයෙන් පිරිත් පැන් විසාලා නුවර ඉසූ බව සඳහන් වේ.
මහා මංගල සූත්‍රයේ සඳහන් වන්නේ තමන්ගේ දිවිය සාර්ථක කරගැන්මට වැදගත් වන සුභවාදී කරුණු නොහොත් මංගල කරුණු ය. මෙය ගිහියන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් ය.
බෞද්ධයන් අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පොත් වශයෙන් පන්සිය පනස් ජාතක පොත, පිරිත් පොත හා ධම්මපදය ප්‍රධාන තැනක් ගනී. මේ අතරින් වඩාත් පූජනීයත්වයට පත්ව ඇත්තේ පිරිත් පොතයි. ඒ නිසා, එම පොත නිකම්ම පොතක් වශයෙන් හඳුන්වන්නේ නැත. එයට, “පිරුවානා පොත් වහන්සේ” නමින් ඉමහත් ගෞරවයෙන් හැඳින්වීමට ශ්‍රී ලංකා බෞද්ධයෝ පුරුදු වී සිටිති. ඉන් සක්සුදක් සේ පැහැදිලිවන්නේ, පිරිත් පොතට දක්වන ගෞරව සැලකිල්ලයි. පන්සල්වලත් ගෙවල්වලත් පිරිත් සජ්ඣායනා කිරීමේ සිරිතට ඇත්තේ දිගු ඉතිහාසයකි. පිරිත් කීමෙන් අපල උපද්‍රව දුරුවන බවටත්, එමෙන්ම වාසනාව, භාග්‍යය ළඟාකරදෙන බවටත් විශ්වාසයක් ඇත.
අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇතැයි සිතිය හැක.
පිරිත් පුරන ස්වාමීන් වහන්සේ දෙනමකි. පිරිත් මණ්ඩපයේ වැඩ සිටින අනෙක් භික්‍ෂූන් වහන්සේ සමූහයක් ලෙස පිරිත සජ්ඣායනා කරන විට අපගේ සිත සතන්වලට අමුතුම ජීවයක් ලැබේ. රිද්මයානුකූලව හඬ උස් පහත් කිරීම නිසා, එහි අගය දෙගුණ තෙගුණ වේ. එහි ඇත්තේ පුදුම ගීතවත් බවකි. පිරිත් කීමට පෙර “පිරිත් ආරම්භක ගාථා” කියවීම ඉතා වැදගත් ය.
පරිත්ත යන වචනයේ තේරුම ආරක්‍ෂාවයි.  (Protection) භික්‍ෂූන් වහන්සේ 30 න් හෝ 29 ක් උපරිම වශයෙන් පිරිත් මණ්ඩපයක වාඩිගෙන පිරිත් සජ්ඣායනා පවත්වති. ඒ මඟින් සියලුම උපද්‍රව දූරිභූත වනවා යයි විශ්වාසයක් පවතී. මේ නිසා බෞද්ධයන් ඕනෑම සුභ කටයුත්තකදී පිරිත් දේශනා කරවීම සාමාන්‍ය සම්ප්‍රදායකි. මැති ඇමැතිවරුන් දිවුරුම් දීමෙන් පසුවත්, වැඩ බාරගන්නා විටත්, මුල්ගලක් තබනවිටත්, ගොඩනැඟිල්ලකට ගෙවදින විටත්, පිරිත් සූත්‍ර කිහිපයක් හෝ කියා ආශිර්වාද ලබාගැන්ම සාමාන්‍ය සම්ප්‍රදායයි. සෑම සුභ කටයුත්තකදීම පිරිත් සූත්‍ර කිහිපයක් හෝ දේශනා කිරීම බෞද්ධයන්ගේ සිරිත ය.
සිහබා රජු පින් හෙල විජය කුමර අනුගත හත්සියයක් පිරිවර ඇතිව ලාට රටින් අවුත් ලක්දිව බැස්සේ ය. “දේවොන්ද්‍රය මාගේ සස්න ලක්දිව පිහිටන්නේ ය.
තම සිත තුළ ඇතිවන බිය සැක දුරු කිරීම සඳහා පිරිත් වලින් ප‍්‍රයෝජන ලැබේ. ඔබට ඇතිවන මානසික ප්‍රශ්නවලට මුහුණ දීමේ දී පිරිත විශාල බලවේගයක් ලෙස ද සැලකිය හැකි ය. ඔබ තුළ ඇතිවන බය හා සැක දුරු කරන්න ධජග්ග සූත්‍රය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ධජග්ග යනු කොඩියයි. යුධ පිටියේ දී බියක් ඇති වූ විට බුදුන් වහන්සේ පවසන්නේ තමාගේ කොඩිය යුධ කොඩිය ලෙස බලන ලෙසයි. එවිට ඔබගේ බිය හා සැක පහවී චිත්ත ධෛර්යය වැඩිවේ.
ඈත අතීතයේ පටන් අප රටේ නිර්මල බුදුදහම රැකුණේ අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නිසා ය. උන් වහන්සේලා මුළු ජාතියටම අවවාද අනුශාසනා පවත්වමින් ජනතා සුභ සිද්ධිය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළහ. ශ්‍රී ලංකාවේ පරිත්‍රාණ ධර්මදේශනා පවත්වමින් ජනතාවට සෙත් පැතීම සඳහා උන්වහන්සේ ඇප කැප වී සිටිති. අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ඉතා මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කරන විට අපගේ සිතට හා ගතට දැනෙන්නේ අසිරිමත් සුවයකි.
අප රටේ පරිත්‍රාණ ධර්ම දේශකයාණන් වහන්සේ අතුරින් කොල්ලුපිටියේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ, ප්‍රවචන කීර්ති ශ්‍රී මාවිත්තර ශ්‍රී රේවත හිමිපාණන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ජිනවචන කෝෂය නම් බෞද්ධ විශ්වකෝෂය ලියූ මාවිත්තර ශ්‍රී රේවත හිමිපාණන් පරිත්‍රාණ ධර්ම දේශනාවට පමණක් නොව, අනුශාසන දේශනා පැවැත්වීමේ දී විශාල ප්‍රසිද්ධියක් ඉසුලූහ. 1930 ගණන් වල සිට 1958 දක්වා උන්වහන්සේ පරිත්‍රාණ ධර්ම දේශනාවල කැපී පෙනුණු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.
මාවිත්තර ශ්‍රී රේවත නාහිමියන්ට අමතරව, පළාතොට, ඉන්ද්‍රජෝති, බොරලැස්ගමුවේ උපාලි බස්නාගල විමලරතන, වත්තල සීලරතන, මාපලගම බුද්ධසිරි, පුහුල්වැල්ලේ ධම්මානන්ද, ඥානින්ද සහ කුසලඥාන විශිෂ්ට ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් කිහිපනමක් ලෙස අපි අසා ඇත්තෙමු.
පරිත්‍රාණ ධර්මදේශනාව බෞද්ධයන්ගේ ජීවිතයට ඉතාමත් සමීපය. සම්බන්ධය.
අනාදිමත් කාලයක සිට පැවත එන මෙම පරිත්‍රාණ ධර්ම දේශනා අනාගතයේ දී ද දිගටම පවත්වා ගෙන යාම බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ මහඟු කාර්යයක් වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 21, 2011

අනගාරික ධර්මපාල

Anagarika.jpg
අනගාරික ධර්මපාලතුමා
උපත 17 සැප්තැම්බර් 1864
කොළඹ, ලංකාව
මරණය 29 අප්‍රේල් 1933 (වයස 69)
ඉන්දියාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
වෙනත් නම් දොන් ඩේවිඩ් හේවාවිතාරණ
අධ්‍යාපනය කොළඹ ඇකඩමිය
ප්‍රසිද්ධියට හේතුව ශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරය,
බුද්ධාගමෙහි පුනර්ජීවනය
ආගම ‍බුද්ධාගම
අනගාරික ධර්මපාල (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටන පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයයි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.

පටුන

[සඟවන්න]

[සංස්කරණය] අධ්‍යාපනය​

පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​ ය​. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව​, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​.ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ​, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.
1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය​.[1] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය​.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය​.

[සංස්කරණය] පරම විඥානාර්ථ සමාගම​

වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් (C.W. Leadbeater) බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​.
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.

[සංස්කරණය] බෞද්ධ ධර්ම ප්‍රචාරය​


1893 දී පවැති දෘෂ්ටි සම්මේලනය​
වමේ සිට දකුණට: වර්චාන්ද් ගාන්ධි, අනගාරික ධර්මපාල​, ස්වාමි විවේකානන්ද​, දකුණට ම වන්න සිටින පුද්ගලයා G. Bonet Maury විය යුතු ය​.
ක්‍රිස්තියානි මිෂනාරි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමග ජපානය බලා පිටත්ව ගියේ ය​. ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය​.[2] එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි.[3]
1890 වසරේ දෙසැම් බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන් දනය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය​. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය​. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන​, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.
බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​. ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.[4]
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.
ඉංගිරිසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව​, චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය​.
බුදු දහම ප්‍රචාරය කිරීමට​, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය​, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංගිරිසි සඟරාව ඇරඹී ය​.

[සංස්කරණය] නිදහස් අරගලය

ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල​, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය​, ගොවිකම හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.
බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ​. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය​.

[සංස්කරණය] අවසන් සමය​

හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව​, 1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධර්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
1933 දී ධර්මපාල හිමියෝ අපවත් වූහ​. ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන් දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.

ජතික කෞතුකාගාරය පුස්තකාලය

කොළඹ කෞතුකාගාරය යනුවෙන් ප්‍රථමයෙන් හඳුන්වනු ලැබූ වර්තමාන ජාතික කෞතුකාගාරය පිහිටුවන ලද්දේ 1877 ජනවාරි 01 දිනය. එදා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි එහි ආදිකර්තෘ විය.

වර්ෂ 1872 දී ග්‍රෙගරි ආණ්ඩුකාර පදවියට පත් කිරීමත් සමඟ ප්‍රසිද්ධ කෞතුකාගාරයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරලීමට ඉදිරිපත් වූයේ රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව) යි. ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නව ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කිරීමට එදා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥයා වශයෙන් සේවය කළ ජේ.පී. ස්මිදර් සමත් විය. මෙහි ඉදිකිරීම් 1876 දී නිම වූ අතර, 1877 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

Thursday, January 20, 2011

63 වැනි නිදහස්‌ උළෙල මෙවරත් චෙන්නායි හිදී

ශ්‍රී ලංකා මහා බෝධි සංගමය, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකාවේ 63 වැනි නිදහස්‌ සමරු දිනය මෙවරත් තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර වෙසෙන දෙමළ ජනතාව හා ශ්‍රී ලංකිකයන් අතර මිත්‍රත්වය හා සුහදත්වය තහවුරු කොට අෙන්‍යාන්‍ය විශ්වාසය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ චෙන්නායි මධ්‍යස්‌ථානය කේන්ද්‍ර කොට ගෙන සංවිධානය කරන විවිධ කාර්යයන් අතර මෙම නිදහස්‌ උළෙලට හිමි වනුයේ විශේෂ ස්‌ථානයකි.

2001 වසරේ ඉතා සුළු පරිමාණයෙන් ඇරඹුණු නිදහස්‌ උළෙල මේ වනවිට චෙන්නායි නුවර වෙසෙන ජනතාව සහ ශ්‍රී ලංකා වාසීන් අතර ආගමික හා සමාජයීය සම්බන්ධතාවය ශක්‌තිමත් කරන නිත්‍ය අංගයක්‌ බවට පත්ව තිබීම සුවිශේෂයකි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, කොළඹ අග්‍රශ්‍රාවක විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන්ගේ සහ කොළඹ නාලන්දාරාමාධිපති හා චෙන්නායි මහා බෝධි මධ්‍යස්‌ථානාධිපති තිනියාවල පාලිත හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා පරිදි චෙන්නායි මහාබෝධි මධ්‍යස්‌ථානාධිකාරී කලවානේ මහානාම හිමියන් ප්‍රධාන සංවිධායක මණ්‌ඩලයක්‌ මෙම උත්සවය සංවිධානය කෙරේ. දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා ප්‍රධාන මහ කොමසාරිස්‌ කාර්යාලයීය කාර්ය මණ්‌ඩලය මගින්ද නිදහස්‌ උළෙල වෙනුවෙන් දෙරටේ සංස්‌කෘතික හා ආගමික සුහදත්වය වර්ධනය කෙරෙන වැඩසටහන් කීපයක්‌ම මෙවර සංවිධානය කර තිබේ.

දකුණු ඉන්දියාවේ බෞද්ධ සංගම් ගණනාවක සහය ඇතිව පැවැත්වෙන මෙම අවස්‌ථාවන්ට, ආගමික නායකයන්, විද්වතුන් මෙන්ම තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගත ප්‍රජාව ද සහභාගි වීමට නියමිතය.

සා. පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණ පෙබරවාරි 18 වැනිදා සිට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමනු ලැබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ පෙබරවාරි මස 18 වැනිදා සිට 28 වැනිදා දක්‌වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මීට අදාළ ප්‍රවේශ පත්‍ර ඉදිරි කාලයේදී විදුහල්පතිවරුන්ට ලැබෙන්නට සලස්‌වන බවද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පෞද්ගලික ලිපිනයන්ට තැපැල් කරන බවද විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින"ට පැවසීය.

එම කාලය ඇතුළත යම් අයදුම්කරුවෙක්‌ විදේශගතව සිටින්නේ නම් ඒ බව විදුහල්පතිවරයා මගින් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට දැන්විය යුතු බවද ඒ අනුව එවැනි අයදුම්කරුවන් සඳහා වෙනත් දිනයක්‌ ලබාදෙන බවද ඒ මහතා කීවේය.

ලබන මස 4 වැනිදා සිට 11 වැනිදා දක්‌වා බුත්තල පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා සිසුන් විශාල පිරිසක්‌ යොදවා ගැනෙන හෙයින් එම ප්‍රදර්ශනය අවසන් වන තෙක්‌ ප්‍රායෝගික පරීක්‍ෂණ ආරම්භ කළ නොහැකි යෑයිද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.

ඉරුවාරදය හටගන්නා හැටි අපේ වෛද්‍යවරයෙක් ලොවට කියා දෙයි

ඉරුවාරදය (මිග්රේන් - Migraine) නමැති රෝගය හටගන්නේ නළලේ ලලාට කුහරවල පවතින නයිට්‍රික් ඔක්සයිඩ් වායුවේ පීඩනය නිසා බව ශ්‍රී‍්‍ර ලාංකික වෛද්‍යවරයෙක් ලෝකයට හඳුන්වා දෙයි.
ලොව ප්‍රථම වතාවට මෙම විද්‍යාත්මක සොයාගැනීම සිදුකරන ලද්දේ ගම්පොළ මූලික ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය, මානව සුරැකුම් පදනමේ සභාපති වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා විසිනි. නයිට්‍රික් ඔක්සයිඩ් වායුව නහරවැල් තුළට ඇතුළු වී ඒවා විස්තාරණය කිරීමෙන් ඉරුවාරදය ඇතිකරයි.
මීට සම්බන්ධ සයිනස් හයිපොක්සික් නයිට්‍රික් ඔක්සයිඩ් න්‍යාය (Sinus Hypoxic Nitric Oxiede Theory) වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතාගේ අලුත්ම සොයාගැනීමයි.
ඉරුවාරදය සම්බන්ධයෙන් ලොව මෙතෙක් පිළිගත් න්‍යාය වූයේ මොළය වටා හා අභ්‍යන්තරයේ ඇති ප්‍රදාහ නිසා මෙම රෝගය හටගන්නා බවය.
වේදනාව සහිත සහ රහිත යනුවෙන් ඉරුවාරදය කොටස් දෙකකින් යුක්තය. වේදනාව රහිත ඉරුවාරදය හඳුනාගැනීමට හැකි වන්නේ පුද්ගලයන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කිරීමෙනි. ඉක්මනින් කෝපයට පත් වීම, අන් අය නුරුස්නා ගතිය, ආක්‍රමණශීලී වීම, සියදිවි නසාගැනීමට පෙළඹීම වැනි ලක්‍ෂණයන් වේදනාව රහිත ඉරුවාරදයට බලපායි. ඇතැම් විට මේ හේතූ®න් අඹු සැමියන් දික්කසාද වීමට පවා බලපායි.
මෙම නවතම සොයා ගැනීම සිදුකිරීමට වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා ආරම්භ කළේ 1998 දීය. වසර 10 කට අධික කාලයක් තිස්සේ පරීක්‍ෂණ සිදුකිරීමෙන් මෙම සොයාගැනීම සිදු කර ඇත. මනෝ වෛද්‍යවරයෙකුව සිටියදී ඔහු හමුවී උපදෙස් ලබාගැනීමට පැමිණි කාන්තාවන් පිළිබඳව සොයා බැලීමේදී කාන්තාවන් කීපදෙනෙකුගේම සැමියන් සියදිවි හානිකර ගෙන තිබිණි.
වැඩිදුර සොයා බැලීමේදී ඔවුන්ට ඉහත රෝග ලක්‍ෂණයන් තිබී ඇත. ඒ අනුව ඔවුන්ට වේදනාව රහිත ඉරුවාරදය හටගැනීමෙන් පවුල් අතර අසමඟිය වර්ධනය වී පවුල් අවුල් වී තිබේ.
මෙම සොයා ගැනීමට මහනුවර ස්නායු වෛද්‍ය සංගමය, පේරාදෙණිය වෛද්‍ය පර්යේෂණායතනය, ශ්‍රී ලංකාවේ වේදනා සංගමය (Pain Society) යනාදිය උපකාර කර තිබේ.
ඩෙන්මාර්කයේ විශ්වවිද්‍යාලයක ස්නායු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වන ටොරල් එස්. ජෙන්සන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සේනානායක, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්ම මහත්මීන්ගේ ද විශේෂ ඇගැයීමට මේ නවතම සොයා ගැනීම ලක්වී තිබේ.
සෑම පිරිමින් දහදෙනකුගෙන්ම හතරදෙනෙකුටත්, සෑම කාන්තාවන් දහදෙනෙකුගෙන්ම හයදෙනෙකුටත් මෙම ඉරුවාරදය රෝගය පවතින බවට ද සොයාගෙන ඇත.

Monday, January 17, 2011

ජාතික ගීයට නිසි ගෞරවය නොදී ගායනා කළැයි සිසුන්ට හොඳ දඬුවමක්

ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයන් පුහුණු කිරීම් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පසුගිය 15 දා ආරම්භ කරන ලද දෙදින නේවාසික නායකත්ව පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සවය අවසානයේ එයට සහභාගි වූ පාසැල් ශිෂ්‍ය නායක නායිකාවන් ජාතික ගීය ගායනා කළේ එයට නිසි ගෞරවය නොලැබෙන අයුරිනි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ගීය ගායනා කරන අතරවාරයේ මේ පිළිබඳව කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව ජාතික ගීයට නිසි ගෞරවය ලැබෙන අයුරින් එය නැවතවරක් හඬ නඟා ගායනා කරවීමට පියවර ගත්තේය.
ගෞරවනීය අන්දමින් සීරුවෙන් සිට හඬ නඟා ජාතික ගීය ගායනා කිරීමෙන් ඔබ මාතෘභූමියට ගෞරව කරන්නෙක් ලෙස ජාතියේ ප්‍රණාමයට ලක්වන බව ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ගීය නැවත ගායනා කරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර තරුණ වර්ෂය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් ශිෂ්‍ය නායක, නායිතාවන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවේ පළමු කණ්ඩායමේ පුහුණුවීම් මේදින ආරම්භ කෙරිණි.
මේ සඳහා මාතර රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය ජාතිත පාසැල, කොළඹගේ ආර පර්ෂද විද්‍යාලය කැලණිය ධර්මාලෝක ජාතික පාසල, කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලය, වීරකැටිය අල් අමීර් මුස්ලිම් විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලය, පින්නවල ජාතික පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් 200 දෙනෙකු සහභාගි වූහ.
ජාතික ගීයට නිසි ගෞරවය ලබා දීමට ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගන්නා ලද මෙම පියවර එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, මවුපියන් ඇතුළු බහුතර පිරිසගේ පැසසුමට ලක්විය.

Saturday, January 15, 2011

හිරු දෙවි පුදන මහ උළෙල තෛපොංගල්

ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයකි හිරු. හිරු නොමැතිනම් මෙලොව ජීව වස්තු කිසිවකට පැවැත්මක් නොමැත. මිනිසාගේ පැවැත්මටත් හිරු අත්‍යවශ්‍ය සාධකයකි. මිනිසාට අවශ්‍ය ආහාර ශාක පත්‍රවල නිෂ්පාදනය කරන්නේ හිරුගේ උපකාරයෙනි. එම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැඳින්වේ. එනම් හිරුගේ ශක්තියෙන් ශාක පත්‍රවල ආහාර නිෂ්පාදනය කිරීම මින් අර්ථවත් කෙරේ. ප්‍රධාන වශයෙන් හිරු සියලු ජීව රාශින්ට ජීවත්වීමට ශක්තිය ලබාදුන් නිසා ලොව සෑම ජීවියෙක්ම හිරුට සදා ණය ගැතිය.
මෙම ණයගැතිභාවයෙන් මිදීම පිණිස ලෝකයේ බොහෝ ජාතීන් හිරු දෙවියන් පුදනු ලබති. තෛපොංගල් දිනය හිරු දෙවියන්ට පූජෝපහාර කරනු ලබන දිනයයි. තෛපොංගල් යනුවෙන්ම නැතිවුණත් මෙම උත්සවය කැනඩාවේ, ජපානයේ, කොංගෝ දූපත්වල, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව තවත් රටවල් කීපයක හිරු දෙවියන් නිමිතිකරගෙන තෛපොංගල් උත්සවය සමරති. වර්තමානයේ ලොව පුරාම විසිරී පැතිරී සිටින දෙමළ ශ්‍රී ලාංකිකයන් සිටින රටවල තෛපොංගල් සමරති.
“තෛ” යනුවෙන් අදහස් කරනු ලබන්නේ ‘තෛ’ මාසය නොහොත් ‘දුරුතු’ මාසයයි. “පොංගල්” යනුවෙන් අදහස් කරන්නේ “ඉතිරවීමයි”, එනම් කිරි ඉතිරවීමයි. මෙම කිරි ඉතිරවීම සිදුකරනු ලබන්නේ සූර්යා උදෙසාය. හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ “ආහාරපාන” සපයා ගැනීමට උදව් උපකාර කරන සියලුම ජීව අජීව රාශින්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීමටය. තෛපොංගල් දිනයේ නියම අර්ථය වනුයේ ගොවිතැනට උපකාරිවන සියලුම ජීව අජීව වස්තුන්ට කෘතවේදීව සැලකීම වේ. “සිලප්පදි කාරම් කෘතියේ කතුවරයා තෛපොංගල් දිනය සැමරීම වස් මෙසේ සඳහන් කර ඇත.
එහි දෙවියන් උදෙසා ප්‍රශස්තියකින් මෙසේ පෙන්වා දෙයි. “ඤායිරු පොර්ටෘවෝම් ඤායිරු” මෙහි “ඤායිරු” යනුවෙන් අදහස් කරනු ලබන්නේ හිරුයි. “පොර්ටෘවෝම්” යන්නෙන් “ප්‍රශස්ත ගායනා” යන්නෙන් අදහස් වෙයි. මෙයින් පෙන්වා දියහැකි කරුණක් වන්නේ “හිරුට” ප්‍රශස්ත ගායනා කර පූජෝපහාර දක්වමු යන්නයි. පූජෝපහාර දක්වන්නේ කිරි ඉතිරවීමෙනි. මෙම කිරි ඉතිරවීම සිදු කිරීමෙන් අනතුරුව හින්දුන් එම හැලියේම කිරිබතක් පිස දෙවියන්ට පුදනු ලබති. මෙම තෛපොංගල් උත්සවයේ සත්‍ය විද්‍යා වටිනාකමක් ද ඇත. එනම්, මෙම උත්සවයට පෙර දින සිටම දෙමළ හින්දු ජනතාව කෙරෙනු ලබන වතාවත්වලින් එය ඉස්මතුවී පෙනේ.
තෛපොංගල් දිනය එළඹෙන්නට පෙර දින සියලුම ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍රකර පරණ දෑ ඉවත් කොට කිරි ඉතිරවීම සඳහා සුදුසු භූමිභාගයක් තෝරා ගනිති. මෙම භූමි භාගයට අනිවාර්යයෙන්ම හිරු එළිය වැටී තිබිය යුතුය. එම භූමිභාගය බොහෝවිට නිවෙස් තුළ එළිමහනේ සකස් කර ගැනීමට අමතක නොකරති. මෙසේ තෝරාගත් භූමිභාගය මත ගොම සහිත මැටි පිරියම් කර සකස් කරගනිති. ඉන් අනතුරුව හතරස් භූමියක්සේ සකස් කොට මුළු හතරෙහි කෙසෙල් ගස් සිටුවා එම කෙසෙල් ගස් අතර කොඩි වැල් ඇද එම කොඩිවැල්වලට අඹ කොළ එල්ලති.
භූමියේ හුණුවලින් හෝ හාල් පිටිවලින් “කෝලම් රටා” දමති. (මල්රටා) මෙම කෝලම් රටාවලින් සශ්‍රීකත්වය පිළිඹිබු වේ. හාල්පිටිවලින් කෝලම් (මල් රටා) නිර්මාණය කිරීමේදී පරමාර්ථයක් ඇත. එනම් පොළවේ වෙසෙන කුඩා කෘමීන්ට ආහාරයක් වන්නට මෙම හාල්පිටි යොදා ගනිති. තවද මෙම භූමිභාගය තුළ අලුත් ලිපක් කරවා අලුත් මුට්ටියක කිරි උතුරවා ගනිති. මෙම කිරි ඉතිරෙන අවස්ථාවේදී නිවසේ සියලුදෙනාම පොංගලෝ පොංගල්, කයි පූසී වායි පූසී පොංගලෝ පොංගල්’ කියා භක්ති පූර්වකව හිරු දෙවියන් නමස්කාර කරති. අනතුරුව මෙම කිරි මුට්ටියට හාල්, සක්කර, මුං, පලතුරු ආදිය දමා රසවත් කිරිබතක් පිසගනිති.
මෙම කිරිබත සමඟ රසකැවිලි එම භූමි භාගයේදී කෙසෙල් කොළවලට දමා දෙවියන්ට පුදති. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ අතීතයේ ගොවියා ඉතා දුක්මහන්සියෙන් ගොවිතැන් කර ලබාගන්නා අස්වැන්න කොටස් හය (6) කට බෙදා ගනිති. ඉන් එක් කොටසක් රජතුමාට පරිත්‍යාග කරති. එය රටේ පරිපාලනමය කටයුතු සඳහාය. තවත් එක් කොටසක් ආගන්තුක සත්කාරය සඳහාත් තවත් කොටසක් නෑදෑ හිතමිතුරන්ටත් දෙති. මෙයින් එක් කොටසක් සතුන්ටත්, දෙවියන් පිදීමටත් දෙන අතර, අවසාන කොටස පවුලේ නඩත්තුව සඳහා යොදා ගැනේ.
මෙසේ දෙවියන් සඳහා පූජා කරන කොටස තෛපොංගල් දිනයේදී ස්වභාවධර්මයාට පූජා කිරීමට යොදා ගනියි. එදින කිරි ඉතිරවා කිරිබත් පිස අනතුරුව එම කිරිබත් නිවැසියන් සියල්ලන්ට ද අනෙක් නෑදෑ හිතමිතුරන්ට ද කෑමට දෙති. ඉන් සූර්යා පූජෝපහාර නිමාවුවත් දවසේ ආගමික වතාවත් කිරීමට යාමට ඉතා වැදගත්ය. සාමාජීය වශයෙන් ක්‍රීඩා උත්සව පැවැත්වීම නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට යාම ආදී කටයුතු කරති. සාමාන්‍යයෙන් දෙමළයේ ප්‍රස්ථාපිරුලක් මෙසේ වෙයි. “තෛජිරන්දාල් මලිජිරක්කුම්” තෛමාසය ලැබුවහොත් මාවත විවෘත වේ හෝ මාවතක් ඉපදේ යන අර්ථය දේ.
එනම් දෙමළ ජන සමාජය දුරුතු මාසය ලැබීම වාසනාව ලැබීම යනුවෙන් විශ්වාස කරනු ලැබේ. තව ද ශ්‍රී ලාංකේය දමිළ ජනයා පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වෙසෙන දමිළ ජනයා තෛ මාසය නොහොත් දුරුතු මාසය සෞභාග්‍ය උදාවූ මාසය ලෙස සලකන්නේ ඔවුන්ගේ සෞභාග්‍ය උදාවන්නේ මෙම මාසයේදී බව ඔවුන් විශ්වාස කරනු ලබන නිසාය. එබැවින් තෛ මාසයේ නොහොත් දුරුතු මාසයේදී ඔවුන් මෙසේ සිතති. “උන්ඩ්‍රි කොඩුත්කෝරේ උයර් කොඩුත්කෝර්” මෙම දෙමළ ප්‍රස්ථාපිරුලෙන් හැඟෙන්නේ “හදවතින් දුන් අය පණ ලබාදුන් අය වේ.” එනම් දෙනවිට ලෝභය නොමැතිව ඉතසිතින්ම දිය යුතුය යන අදහස මතුවේ. එමනිසා මෙම මාසයේදී මෙම දවසේ දානය දී පිනක් සිද්ධ කරගැනීම ද මෙහිදී සිදුකරනු ලබති.
තෛපොංගල් දෙවැනි දිනය මෙවර යෙදී ඇත්තේ 16 වෙනි දිනටය. එනම් එදින තම ගොවිතැනට උදව් උපකාර කළ සත්ව සමූහයාට කෘතවේදී වීමට අමතක නොකරති. එය “පට්ටි පොංගල්” යනුවෙන් හඳුන්වති.  පට්ටි පොංගල්වලදී ගවයන්, එළුවන්, බැටළුවන් ආදී සතුන්ව නහවා උන්ව අලංකාර කර කිරිබතක් පිස ඔවුන්ට කිරිබත් කැවිලි, පෙවිලි සහ කෙසෙල් ගෙඩිවලින් සංග්‍රහ කරති. මෙම සාමාන්‍යයේ මෙවර නම් 16 වෙනි දිනයේ හවස එනම් හිරු බැස යන වේලාවේ සිදුකරනු ලබති.  ගවයන්, එළුවන් ඇතිකරනු ලබන උදවියට එම ගවහල්, එළුපට්ටි සුද්ධපවිත්‍ර කර අඹ අතු, ගොක් අතු එල්ලා එය සරසා උත්සවාකාරයෙන් එම උත්සවය කරනු ලබති.
කිරිබත පිසිගත් පසු එය ගණදෙවියන්ට පුදා පිසගත් කැවිලි පෙවිලි කෙසෙල් ගෙඩි සියල්ල පුදා ගෘහමූලිකයා ඇතුළු නිවසේ සෑම ගවහල, එළුහල වටේට හිඳ “ආට්ටුප් පොංගල්, මාටුජපොංගල්, පොංගලෝ පොංගල්” යන බෙදා හඬ නඟා කෑගසති. අනතුරුව දෙවියන් වැඳ අවසානයේදී තමන් සතුව ඇති සියලුම සතුන්ට සංග්‍රහ කරනු ලබති. එයද ඉතා හොඳ සද්ක්‍රියාවක් බව පෙනේ. තෛපොංගල් දිනයේදී ඵල නොදරන ගස්වැල්වලට කරන සත් ක්‍රියාව ද දෙමළ ජනසමාජයේ ඇත. මෙය ද තෛපොංගල් උත්සවයේ අංගයකි. ඵල හට නොගන්නා ගස්වලට හෝ මල්හට නොගන්නා ගස්වලට පහරදීමේ ක්‍රියාවලියයි. මේ ක්‍රියාව ද පොංගල් දිනයේ දීම සිදුකරනු ලබන්නේ කිරිබත පිසීමට ගන්නා පොල්කටු හැන්දෙනි.
මෙසේ පහර දුන් පසු ඉක්මනින්ම මල් හට ගෙන ඵල හටගනීවි යන විශ්වාසයක් දෙමළ ජනතාව තුළ ඇත. පොල්, අඹ, කොස්, තල් වැනි ඉතා ප්‍රයෝජනවත් ගස්වලටත් ඵල ඛ්ටනොගන්නා අනෙක් ගස්වලටත් මෙම “කෙම් ක්‍රමය” කිරීමට දෙමළ ජනතාව පුරුදුවී සිටිති. මෙසේ ගස්වලට පහර දෙනවිට මල් හැදෙන්නේ නැද්ද, ගෙඩි හැදෙන්නේ නැද්ද යනුවෙන් කිය කියා එක් අයෙකු ගසට ගසන විට තවත් අයෙක් මල් හදම්, ගෙඩි හදම්” යනුවෙන් පිළිතුරු දෙති. තෛපොංගල් දෙමළ ජනතාවගේ සමාජ විද්‍යාත්මක පැති ගණනාවක් විග්‍රහ කරනු ලබයි.
මන්ද මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ සියලුම ජීවරාශිවලට කෘතවේදී බව සැලකීම උවත්, එම ජනසමාජයේ විවිධ පැතිකඩවල් විග්‍රහ කරන බව පෙනේ. එනම් පවුලේ සමඟිය, තම ජීවිතවල ලෞකික අරමුණු ඉටුකරගැනීම, අජීව වස්තුවලට සැලකීම, පවුලේ සමගිය උන්නතිය සශ්‍රීකත්වය වැනි කරුණු අරමුණු කරගෙන තෛපොංගල් උත්සවය සමරන බව පෙනේ. මෙලොව දියුණූවට සශ්‍රීකත්වය පත්කරගැනීමට ද මෙහි එක් අරමුණකි. එනම් මෙම දිනයේදී සිදුකරනු ලබන දානමය පුණ්‍යයක්‍රියා එයට බලපානු ලැබේ. මෙසේ බලන විට තෛපොංගල් උත්සවය ආගමික සාමාජික උත්සවයක් පමණක්නොව මුළු ජනසමාජයම එකට සමගිව ඒකරාශි කරනු ලබන උත්සවයක් බව අපට කිව හැකිය.

UGC to consider appeals

University qualified students who have failed to apply for University Admission due to the flood situation could send a letter of appeal to the University Grants Commission (UGC) for consideration, UGC Chairman Prof SVDG Samaranayake told the Daily News.
He said that the closing date of applications for university admission for the academic year 2010/ 2011 was not postponed. Accordingly yesterday was the closing date to send duly filled applications for University admission.
"We have always considered the difficulties encountered by students in sending us filled applications. For example, during the days of the war against terrorism in the North, we distributed a University Admission Handbook to students who were in camps.
However if the closing date was postponed then the commencing of universities might also get delayed. Therefore we have decided not to postpone it" he explained.
He also said that the UGC has received about 40,000 applications so far. He expected that this would reach 50,000 by tomorrow morning. About 20,000 applications were received yesterday alone, he added.
"If any student has been unable to send an application through registered post, or if the letter was displaced or if the post office of the area is inundated due to floods, he or she can send us an appeal conveying the difficulty faced" he said.

පංච පාපය දුරැලා සැනසුමේ මාවතට...

සිරිලක සිරියාව පිරී ඉතිරී දසත පැතිරී යන්නේ පස් පව් දුරු කර පන්සිල් රකින යුතුකම් ඉටු කරන වැඩි ජනතාවක් සිටියොත් පමණකි. ආගම දහම කෙසේ වෙතත් මිනිසකු වශයෙන් තම යුතුකම සලකා තමාගෙන් අනුන්ට, සත්වයන්ට වේදනාවක් නොදී සිටින්නට තරම් සංවේදිතාවයක් පුද්ගලයකු තුළ තිබේ නම්, එයම මානුෂිකත්වයේ ලක්‍ෂණයක් වන්නේ ය. පරිසරය සමඟ ඉතා සමීප සම්බන්ධතාවයකින් තම ජීවිතය ප්‍රභාමත් කරගත් වේද කාලීන ජන සමාජය, ප්‍රාණඝාතය පාපතර ක්‍රියාවක් බවත්, අවිහිංසාව මානුෂික ගුණාංග ආරක්‍ෂා වන, පෝෂණය වන තෝතැන්න බවත් වේද ග්‍රන්‍ථවල දක්නට පුළුවන.
මිහි මත උපන් සෑම සත්වයාම තම තමන්ගේ ජීවිතයට මැරෙන තුරු ආශා කරන එය අන් අයටද සාධාරණ බව සලකන්නට තරම් බුද්ධි ශක්තියක් ඇත්තේ මිනිසාට පමණකි. මේ නිසා වරෙක මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් යැයි ප්‍රකාශ කළ වෛදික බමුණන්ගේ මතය අභිබවා මානව ගුණාංග පිළිබඳ ගවේෂණ කරන්නට පෙරට ආ මුනිවරුන්, ඉසිවරුන්, මිනිසා සෙවිය යුත්තේ නිර්මාණවාදී දෙවියන් පිළිබඳ නොව අධ්‍යාත්මික චින්තනය බවත් එවන් චින්තනයක් ඇති කර ගැනීමට අවිහිංසාව අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත. අප බුදුරජාණන් වහන්සේ ද ප්‍රාණඝාතය ප්‍රබලම අකුසල කර්මය බව වදාරා එහි පාප ප්‍රතිවිපාක මෙසේ වදාළසේක.
පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහු ලීකතො නිරය සංවතතනිකොහොති. තිරචඡානයොනි සංවත්තනිකොහොති පෙත්තිවිසය සංවත්තනිකොහොති. යොසබ්බලහුසො පාණාතිපාතස්ස විපාකො මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකොහොති ප්‍රාණඝාතකයන් දිට්ඨධම්ම වේදනීය වශයෙන් ලබන ප්‍රතිවිපාක අපමණ ය, වධ බන්ධන, ධනහානි, තමාට පමණක් නොව තමාගේ ඤාතීන්ට, මිත්‍රයන්ට පවා විපාක විඳින්නට සිදුවේ. පරලොව සතර අපායේ ඉපිද දුක්වේදනා විඳින්නට සිදුවෙයි. එමෙන්ම කලකදී මිනිසත් බව ලැබුව ද අංගවිකලත්වය, අල්පායුෂ්කවීම හා දුකෙන් දුකට පත්වන්නේ ප්‍රාණඝාත අකුසලය නිසා ය.
ගොවිතැන් කර්මාන්තයෙහි නොපවත්නා ගවයකු පිදුරු දමා දවා කා මිනිසකු ඒ මහා පාපයෙන් අවීචි මහා නරකයෙහි ඉපිද වර්ෂ කෝටි දාහක් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි පිදුරු ගින්නෙන්ම දැවී මළේ යැයි දහම් කතාවක දැක්වෙයි. සත්ව හිංසාව, පීඩාව, ඝාතනය එයට අනුබල දීම, මස්කෑම, වෙළඳාම එයින් ජීවිතය පැවැත්වීම අමානුෂික ය. මානව ධර්ම අංශුමාත්‍රයක් හෝ මාංශ බුදින්නා තුළ විද්‍යමාන නොවේ.සීවලී මහරහතන් වහන්සේ සසර වසන කල එක් ජන්මයක රජව සිවුරඟ සෙනග ගෙන ගොස් අනෙක් නුවරක් වට කොට සත් දිනක් රජකු හිරකොට තැබූ අකුසලයෙන් අන්තිම ආත්මභාවයේ දී හත්අවුරුදු හත්මස් හත්දිනක් මවුකුසම වැදහොත්තේ ය.
එවංච සත්තා ජානෙය්‍යුං
දුක්ඛායං ජාති සම්භවො
නපාණො පාණිනං හඤ්ඤෙ
පාණඝාතාහි සොචති
මෙවන් විපාක දන්න කෙනකු කිසිදා කුරා කුහුඹයකුට වත් හිංසාවක් කරන්නේ නැත. අදින්නාදාන සොරකම කුමන ආකාරයකින් කළද සමාජයට මහා පිළිලයකි. සොර සිත නිසා අනුන් කොතරම් බියකින් පසුවන්නේ ද? කොතරම් ධනයක් වියදම් කරන්නේද? දොරවල් සවි කිරීම ගේට්ටු ඉබි යතුරු දැමීම, මිනිසුන් සපා කන නපුරු බල්ලන් ඇති කිරීම, ගිනි අවි භාවිතය, මිනිසුන් කරන්නේ වෙනත් අය සොරකම් කරතැයි බියෙනි. විවිධාකාර කරදර අවුල් වියවුල් ඇතිවන්නේ සොරකම නිසා ය. සොරකම සමාජයේ නොයෙක් ආකාරයට සිදුවෙයි.
1. සාමාන්‍ය හොරකම
2. අල්ලස් ගැනීම
3. මංකොල්ලය
4. මුරණ්ඩුවට ඉරිසියාවට සොරකම් කිරීම
මෙසේ ක්‍රියාත්මක වන හොරකම අඩු කිරීමට නම් පුද්ගලයාට දැනීම ලබා දිය යුතු ය. මිනිසාගේ පසිඳුරන් පාලනය කර ගැනීමට තරම් සිතක් නැති වන්නේ අධික කාම තණ්හාව නිසා ය. එයින් වන විශාලතම පාප කර්මය කාම මිථ්‍යාචාරය යි. පරදාර පරිග්‍රහ කළ පුද්ගලයෝ මේ ආත්මයේම නොයෙක් වධහිංසාවලට පත්ව වධ වේදනාවන්ගෙන් පීඩිතව මරණින් මතු නරකයෙහි ඉපිද වර්ෂ දහස් ගණන් දුක් විඳ මිනිස් ලොව උපත ලදුයේ නම් සියක් අත්බැව්හි ස්ත්‍රී බවට පැමිණෙති.
කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අනඳ මහ තෙරහු එක්ජන්මයක පර ස්ත්‍රී සමාගමයකින් නරකයෙහි පැසී එයින් මිදී තුදුස් අත්බවෙක ස්ත්‍රීව උපන්හ. සත්වරෙක අණ්ඩච්ඡේදයට පැමිණියහ. මෙසේ මහා විපාක දෙන කාම මිථ්‍යාචාරය නිසා වර්තමාන ලෝකය කොතරම් පීඩාවට පත්වන්නේ ද? පුද්ගල හා පුද්ගලාන්තර වශයෙන් ද ලෝක සමාජමය වශයෙන්ද මෙම පහත් දුශ්චරිතය විවිධාකාරව විවිධ විලාසිතා වශයෙන් සිදුවීම, අනාගත ලෝකයේ මහා භයානක ව්‍යසනයකට මූලික වන්නේ ය. කාම මිථ්‍යාචාරය නිසා සමාජමය වශයෙන් සිදුවන දුර්විපාක
1. ගෘහ ජීවිතය විනාශවීම
2. දරුවන් අනාථවීම
3. ගණිකා නිවාස සමාජශාලා ඇතිවීම
4. සම්පත් විනාශය
ධනයෙන්, බලයෙන්, ඤාතීන්ගෙන් හුදකලා වී විවිධ රෝගාබාධ වලින් පෙළී මානසිකව සන්තාපයට, පශ්චත්තාපයට පත්වී මරණින් මතු සතර අපායේ ඉපදී දුක්වේදනා විඳීන්නට සිදු වෙයි. කාම මිථ්‍යාචාර අකුසලය නැති කිරීමට කුඩා කල සිට පන්සිල් ආරක්‍ෂා කිරීම පුරුදු කළ යුතු ය. කෙනකුට මුසාවාදයෙහි හැකුළුම් නැත්නම් ඔහුගේ සන්තානයහි ගුණලවයක් නැති අතර, පැවිද්දකුට බොරු කීමෙහි ලැජ්ජා බිය නැත්නම් ඔහුට මහණකමේ අංශුවක්වත් නැත්තේම ය.
අප බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට අවවාද දෙන අයුරු රාහුලෝවාද සූත්‍රයේ මෙසේ දැක්වෙයි. “පස්සසි නො ත්වං රාහුල ඉමං උදකධානං රිත්තං තුච්ඡන්ති එවං භනේත, එවං රිත්තං තුච්ඡං ඛො රාහුල තෙසං සාමඤ්ඤං යෙසං නÀථි සම්පජාන මුසාවාදෙ ලජ්ජා” දිය බඳුනක් මුනින් අත තබා ජලය වත් කළ ද දිය බිඳක් වත් නොරඳන්නාසේම මුසා බස් මුවින් නිති පිටවන විට පවට බියක් ලැජ්ජාවක් නැත්තේමය.
දීනො විගන්‍ධවදනොච ජළො අපඤ්ඤෝ
මූගොසදා භවති අප්පිය දස්සනොච
පප්පොති දුක්ඛමතුලංච මනුස්සභූතො
වාචං මුසාභණති යොහි අපඤ්ඤසත්තො
සත්‍යා’සත්‍ය, කපටිකම්, ක්‍රියාත්මක කොට කෙසේ හෝ ජීවත්වන මානව සමාජයක් දක්නට ඇත. මෙයින් වන ප්‍රතිවිපාක සියල්ලන්ටම ලැබෙන නිසා බොරු කීම සමාජයෙන් තුරන් කරන්නට උත්සාහ ගත යුතුවන්නේ ය. සත්‍යවාදී ජනතාවක් සඳහා ආගමික වශයෙන් මෙයට වඩා පුළුල් පදනමක් නොවන්නේ නම්, පංච සීල ප්‍රතිපත්ති කෙසේවත් අනාගතයේ ක්‍රියාත්මක වන්නේ නැත. හලාහල විෂ වැනි සුරාපානය ද මහා අකුසලයකි. එම පාප කර්මයේ ප්‍රතිවිපාක ලෙස මෙලොව දිට්ඨධම්ම වේදනීය වශයෙන් දුක් කරදර, රෝග පීඩා, වධ වේදනා විඳින්නට සිදුවන අතර, මරණින් මතු නරකයෙහි ඉපිද පැසී, ඉන් මිදී මිනිසත් බවක් ලැබුවද, උන්මත්ක වන්නේ ය. හීන දීන ශෝක, විරූප වේදනා ඇති වෙයි.
මත්පැන් පානය කරන්නාගේ සන්තානය තුළ ක්‍රියාත්මක වන ගූඪ චේතනා අතර වෛරය, අසහනය හා ආත්ම පාරාජිකත්වය ප්‍රධාන ය. කුඩා කල ඇති වූ ජීවිත ඌනත්වයක් නිසා එහි වගකීම සමාජයට ආරෝපණය කිරීමේ අනියම් මාර්ගයක් වශයෙන් එම චින්තන ලෝකයෙන් මෑත්වන්නට මත්පැන් පානයේ රස වින්දනයක් ලබාගත්තද සමාජයෙන් පළි ගැනීමට ද ප්‍රයත්න දරන්නේ ය. එහිදී සමාජ ධර්මතා අමතක කොට වචනයෙන් ක්‍රියාවෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ජීවිතයේ අඩුපාඩුවක් නිසා සමාජ ධර්මතා වලට පහර ගහන චේතනාවෙන් මත්පැන් පානය කරන අයගේ ප්‍රතිශතය වැඩි වෙයි. විශේෂයෙන් අර්ධ නාගරික සමාජයෙන් බිහි වන නූගතුන් අතර, දියුණු සමාජයෙන් පලිගැනීමේ චේතනාවෙන් බිහි වන තරුණ පක්‍ෂය හා මැදිවියේ සිටින පිරිමි ගැහැණු දෙපක්‍ෂයම මත් ද්‍රව්‍යවලට පුරුදු වන්නේ වෛරය, අසහනය, හීනමානය වැනි සංකීර්ණ හැඟීම් වලින් ආවේග වන බැවිනි.
වර්තමාන ලංකාවේ පස් පව් කරන අය වැඩි වශයෙන් බිහි වන්නේ සමාජ අසහනයෙන් පීඩිත ගැමියන්ගෙන් හා අර්ධ නාගරික ජනතාවගෙනි. මේ නිසා රජයෙන් හා මාධ්‍යවලින් දේශනා කරන්නන් එක්ව යම්කිසි පදනමක් මත පිහිටා අර්ධ නාගරික සමාජය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් කොට ඔවුන්ගේ අධ්‍යාපනික ආගමික, ආර්ථික අවශ්‍යතා සපුරා දෙන්නේ නම්, පන්සිල් ගැන මෙතරම් බණ දෙසන්නට ද අවශ්‍ය වන්නේ නැත. පස් පව් දුරු කරන පන්සිල් රකින සමාජයක් බිහි වන්නේ නම්, අනිවාර්යයෙන් රට නැගුම ඉතා පහසු වන්නේ ය. නිරායාසයෙන් මානව සමාජය අර්ථවත් ලෙසම සහජීවනයෙන් සතුටින් කල් යවන්නේම ය. නීතියෙන් මෙතෙක් සමාජයක් හෝ හැදුණු කෙනෙක් නැත. මතුවට හැදෙන්නේ ද නැත. සමාජය ගුණාත්මක භාවයෙන් පෝෂණය වන්නට නම් ආගමෙන්, දහමෙන්, විනයෙන් යුක්ති ධර්මයෙන් පොහොසත් විය යුතුමය.
දුසිරිත් නොවේවා
පන්සිල් රකීවා
ගුණ දම් වැඩේවා
සියල් සතුනට සෙත්ම වේවා

තෙරුවන සරණ යෙන්
සිල් ද නිති රැකීමෙන්
දෙලොව සැප ලැබීමෙන්
සදා සැනසේ නිවන් සුවයෙන්

ඔබ සැමට තෙරුවන් සරණයි

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට දැන් සිටම ‘පිළිවෙතින් පෙළ ගැසෙමු’