Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Sunday, March 6, 2011

ගින්දර උහුලන සුන්දරීලා

සිය වැනි කාන්තා දිනය නිමිත්තෙනි
තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක්‌ උදා වෙමින් පවතී. මෙවර සැමරෙන්නේ සිය වැනි ජාත්‍යන්තර කාන්තා දිනය යි. මාර්තු 08 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙවර තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ "දේශය නැඟුමට ඇගේ ශ්‍රමය ශක්‌තියක්‌" යන පාඨය බව දැනටමත් ප්‍රසිද්ධ වී තිබේ.

වසරකට දින 365 ක්‌ පුරා පැය 8760 කට ආසන්න කාලයක්‌ දුක්‌ සෝ සුසුම් විඳින කාන්තාවන් වෙනුවෙන් වසරකට එක දිනයක පැය කිහිපයක්‌ වෙන්කර තැබීම කෙතරම් සාධාරණ ද?

පිරිමි කොතෙක්‌ සිටියත් මේ ලොව පවතින්නේ කාන්තාවන් නිසා ය. කාන්තාවන්ට හිංසා පීඩා කරන සෑම පිරිමියෙක්‌ ම ගැහැනියගේ කුසින් මොලොව එළිය දුටුවෝ වෙති. දස මසක්‌ කුස හොවා, කිසි දිනක පිරිමියෙකුට නොදැනෙන දරුණුතම වද වේදනාව උහුලා ගනිමින් දරුවන් බිහි කරන කාන්තාවන් වෙනුවෙන් සිදු කරන්නා වූ උතුම් ගෞරවය ජාත්‍යන්තර කාන්තා දිනයට ලඝූ කිරීම මොනතරම් අපහාසයක්‌ද?

එහෙත් වසර පුරාම කාන්තාවන්ට අපහාස කරන, කාන්තාවන්ට හිංසා කරන, කාන්තාව පීඩනයට පත් කරන මේ සමාජයට ඇයගේ වටිනාකම කියා දෙන්නට එක දිනයක්‌ හෝ තිබීම එක්‌ අතකින් වරදක්‌ ද නැත.

වත්මන් ලෝකයේ කාන්තාවන් පිරිමින් අභිබවමින් සිටින මෙවන් යුගයක වුව ද ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල කාන්තාවන්ගේ ඉරණම ෙ€දනීය බව කිව යුතුය. විශේෂයෙන්ම හින්දු සංස්‌කෘතික ගැහැනිය සහ ඇතැම් රටවල මුස්‌ලිම් ජාතික කාන්තාවන් දැඩි ලෙස පිරිමින්ගේ ආධිපත්‍යයෙන් පීඩා විඳිනු ඇත. හින්දු සංස්‌කෘතියට අනුව සැමියා මියගිය ස්‌ත්‍රියට සමාජමය වශයෙන් නොයෙක්‌ පීඩාවලට මුහුණ දීමට සිදුවන අතර ඔවුන්ගේ ආගමික පිළිවෙත නම් සැමියාගේ දැවෙන සෑයට පැන දිවි නසා ගැනීම සැමියා නොමැතිව සමාජයේ ජීවත්වීමට වඩා කාන්තාවකට සැනසීමක්‌ බවයි. අප්‍රිකානු සමාජයේ මුස්‌ලිම් ජාතික කාන්තාවන්ට පනවා ඇති තහංචි, චර්ම ඡේදනය (සුන්නත් කිරීම), අසීමිත ලෙස දරුවන් වැදීම වැනි පීඩනයන් අඩු වැඩි වශයෙන් අදටත් පැවතීම ෙ€දයකි.

මේවා නොවුණත් මේ හා සමාන වද හිංසනවලට අපේ රටේ කාන්තාවන් ද මුහුණ දෙනු ඇත. වසර සියයක්‌ ලෝක කාන්තා දිනය සිය වරක්‌ සැමරුවත් ඒවාට නිශ්චිත කෙසේ වෙතත් සාධාරණ විසඳුමක්‌වත් ලැබී තිබේ ද?

අපේ රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා කාන්තාවන් සිටියත්, කාන්තාවන්ට ඇති බලසම්පන්න කමක්‌ නැත. විඳින දුක්‌ පීඩාවල අඩුවක්‌ ද නැත. මේ රටේ කම්කරු කාන්තාවන් තුට්‌ටු දෙකේ වැටුපකට මහා මිනිසුන්ගේ අතකොළුවන් බවට පත්වන අයුරු බොහෝ කලක සිට අපි අත්දකිමු. ඔවුන්ගේ කුස ගින්දර මොහොතින් මොහොත ගිනි ජාලාවක්‌ සේ ඇවිලෙනවා මිස ඒවා නිවෙන මොහොතක්‌ නැත. එවැනි දැවුණු කුසක මාස දහයක්‌ දැවෙමින් කල් ගෙවන කළලයක්‌ මේ සමාජයට වෛර කරනු හැර වෙන කුමක්‌ කරන්නද? අඩුම තරමේ එම කාන්තාවන්ගේ රීරි මාංශය උරා ගන්නා මේ රටේ ධනේෂ්වර යෑයි පෙන්නාගෙන සිටින උන් ශ්‍රමයට සාධාරණ වැටුපක්‌වත් ගෙවන්නේ ද? එහෙව් සමාජයකට කාන්තා දිනයක්‌... ඇවැසිද....?

ලෝක ආහාර අර්බුදයට අපි සූදානම් යෑයි කීවත් වෙළෙඳපළේ ආහාරවල මිල ගණන් කොබඳු දැයි නොදන්නා කෙනෙක්‌ නැත. මාසික වැටුප වසර හත අටකින්වත් වැඩි නොවුණ නමුදු බඩු මිල පැයෙන් පැයට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. එපමණක්‌ නොව බස්‌ ගාස්‌තු, දුම්රිය ගාස්‌තු, ඇඳුම් පැළඳුම්, දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පාසල් උපකරණයේ සිට සියලු දෑ ආහාර මිලට දෙවැනි නැත. ගෑස්‌ මිල ද ගෑස්‌ පෙන්වද්දී ඒ සියලු දෙයින් අසහනයට පත් වන්නේ නිවසේ ගෘහනියයි. දරුවන් කුසගින්න පවසන්නේ මවට ය. සැමියා ද ඒ බව බොහෝ දුරට ප්‍රකාශ කරනුයේ නිවසේ ගෘහනියට නැතහොත් බිරිඳට ය. කුස ගිනි උහුලමින් දරුවන්ගේ කුස්‌ පිරවූ උත්තරීතර මව්වරු අපේ සමාජයේ අඩු නැත. ඊට සාපේක්‍ෂව කුස ගිනි ඉසිලීමේ හැකියාව වැඩි වුනා මිස ඊට විසඳුමක්‌ ලැබෙන බවත් දක්‌නට තිබේද?

නිවසේ මෙවැනි ගිනි ජාලා නැගෙද්දී, ආර්ථික අර්බුදයෙන් පීඩනය ඉහළ යද්දී ඇයට ද වෘත්තීය ගැහැනියක්‌ බවට පත්වීමට සිදු විය. එයින් වූ හානිය කුස ගින්න අභිබවා යමින් තිබේ. ගෙදරදී ඇය අත්වින්ඳේ කුස ගින්නේ වේදනාව හා නිවසේ අනෙකුත් සාමාජිකයන්ගේ අෙ¹aනා පමණි. එහෙත් රැකියාව සඳහා නිවසින් එළියට බැස්‌ස ගැහැනිය තව කරදර දස දහසක්‌ ඇය වටා රොක්‌ කර ගත්තා නොවේද?

මඟ තොටදී අත් වන පීඩනවලට අමතරව කාර්යාලයේ නිලධාරින්ගේ සිට සේවක පිරිසගෙන් අත්වන හිංසන, පීඩන සුළු පටු නොවේ. වත්මන් සමාජයේ බොහෝ කාන්තාවන් මේ සමාජයේ නරක ම රැකියාවේ නියුතු කරවීමට ඔවුන්ගේ ආර්ථික පීඩනයන් මෙන්ම ඇතැම් කුරිරු මිනිසුන්ගේ තාඩන පීඩන ද හේතු වී තිබේ. කාන්තාවන් එවැනි නීති විරෝධී රැකියාවක නිරතව සිටිය දී නීතියේ රැeහැනට හසු වුවහොත් ඇය ව එවැනි

රැකියාවකට පෙළඹ වූ පිරිමියා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත. ඇප ගෙවීමට සුළු මුදලක්‌ සොයා ගත නොහැකිව සිර ගෙවල්වල නිලධාරී කාන්තාවන්ගේ ම ලිංගික හිංසනයන්ට ගොදුරු වන එවැනි අසරණියෝ සමාජයේ ගැරහුමට ද ලක්‌වෙති. දරු දුක්‌ නිවන්නට එවැනි මගට පිවිසි මව්වරු අවසානයේ සිය දරුවන්ගේ ද දොaෂ දර්ශනයෙන් කම්පාවට පත්වෙති. ගැහැනු සියයක්‌ සමග අනියම් ලිංගික සේවනයේ යෙදුනත් පිරිමියෙකු සම්බන්ධයෙන් සමාජයේ එවැනි ගැරහුමක්‌ නොවීම පුදුමයකි.

අපේ රටේ කාන්තාවන්

රැකියාවලට යොමු වීම නිසා දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස්‌ තිබේ. එහි භයානකම තත්ත්වය වන්නේ පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා බාල වයස්‌කාර දරුවන් ගැබ් ගැනීම යි. අතීත ගැමි සමාජයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපේ ගැමි පවුලක දරුවන්ගේ රැකවරණයට අම්මා දිවා රාත්‍රි ළඟ සිටියා නොවේ ද? මවක්‌ දරුවන් සමග කටුමැටි ගෙදරක දොර අගුල්ලා නිදා ගනිද්දී තාත්තා නිදා ගන්නේ ප්‍රධාන දොරෙන් එළියේ පිළ උඩ තැබූ ලණු ඇඳක ය. එදා අඹු සැමියන් අතර තිබූ බැඳීම දරුවන්ට ඇඟවූයේ නැත. එහෙත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි වසංගත ඔස්‌සේ ලිංගික චර්යාවන් පොදු දර්ශන බවට අද පත්ව තිබේ. පාසල් දරුවන් අතර මෙය ඉතා ම සුලභ රසයක්‌ බවට පත් කිරීමට තාක්‍ෂණය පොහොසත් වී ඇත. මෙවැනි දෙයින් දරුවන් මුදා ගැනීම වත්මන් සමාජයේ දෙමව්පියන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයකි. යම් හේතුවකින් දරුවෙකු නොමග ගියහොත් එහි වරද ද පැටවෙන්නේ වැඩි වශයෙන් මවට ය.

මධ්‍යම හා දිළිඳු පාන්තික පවුල්වල පිරිමි බහුතරයක්‌ වර්තමානයේ ස්‌ථීර රැකියාවල නියුතු නොවීම කාන්තාවන් මුහුණ පාන්නා වූ තවත් අර්බුදයකි. එක්‌කෝ ඔවුහු දේශපාලනඥයන් පසුපස යන්නෝය. නැත්නම් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් පසුපස යන්නෝය. එසේත් නැතහොත් බොරු කයිවාරු කාරයෝ ය. ස්‌ථිර මාසික වැටුපක්‌ සැමියාගෙන් නොලැබෙන නිසා රැකියා නොමැති කාන්තාවන් වැඩි දෙනෙකුට ද ස්‌වයං රැකියාවල නියුතුවීමට සිදු වී තිබේ. දරුවන් හදා වඩා ගැනීමටත් වඩා පාසල් යන දරුවන් වෙනුවෙන් දැරීමට සිදුවී ඇති වියදම අති විශාල ය. රජයේ පාසල්වල ද විටින් විට නොයෙක්‌ වියදම් යෑයි කියමින් දෙමව්පියන්ගෙන් මුදල් කඩා වඩා ගන්නා අයුරු පිළිබඳ මැසිවිලි අඩුවක්‌ නැත. පාසල් යන වයසේ දරුවකුගේ වියදම එක වැටුපකට උසුලා ගැනීමට නොහැකි තරම් ය. නිදහස්‌ අධ්‍යාපනයට සිදුවී ඇති මේ ව්‍යසනයේ පීඩනයෙන් දුක්‌ විඳින්නේ පියවරුන්ටත් වඩා මව්වරුන් ය.

කාන්තාවන් රැකියාවල නියුතු වීමත් සමග දරුවන් හදා වඩා ගැනීමේ අර්බුදයද ඉහළ ගොස්‌ තිබේ. උපයන වැටුපට සාපේක්‍ෂව මෙහෙකරුවන්ට අමතර මුදලක්‌ ගෙවීමට නොහැකිය. ඒ ගෙවීම කෙසේ හෝ සපුරා ගත්තත් විශ්වාසනීය මෙහෙකරුවන් සොයා ගැනීම ඊට වඩා ගැටලුවකි. මෙහෙකරුවන් සමග නිවෙස්‌වල හුදෙකලා වූ දරුවන්ට සිදු වූ අතවර, හිංසන පිළිබඳ ප්‍රවෘත්ති ඕනෑ තරම් ඇත. අනෙක්‌ අතින් වැඩිහිටි දෙමව්පියන්ට සිය ජීවිතවල මහලු කාලය නිදහසේ ගත කිරීමට නොහැකි වී තිබේ. බැරි මරගාතේ දරුවන්ගේත් දරුවන් රකින මහලු මව් පියවරු කොතෙක්‌ සිටී ද... ඔවුන්ගේ ලෙඩ දුක්‌ බලන්නට තම දරුවන් ළඟ සිටිය යුතු කාලයේ ඔවුන් සිදු කරන්නේ තමන්ගේ ලෙඩ දුක්‌ අමතක කර දරුවන්ගේ දරුවන් රැකබලා ගැනීමය. එවැනි මවුවරු සිටින දූවරු එක්‌ අතකින් සැනසීමේ රැකියාවල නිරතව සිටිනු ඇත. එහෙත් දවස පුරා මවුපියන්ගේ උණුසුමින් ඈත්ව සිටින දරුවන් එහි පළිය ගන්නේ රැකියාව නිම වී දෙමව්පියන් නිවෙස්‌ කරා ගිය පසුය. දවස පුරා කාර්යාලයේත්, මග තොටත් පීඩා විඳි ගැහැනියට නිවසට ගියත් නින්දට යනතුරු සැනසීමක්‌ නැත.

සිංහල ගැමි සමාජයේ මව යනු උතුම් වස්‌තුවකි. පුරුෂාධිපත්‍යය ඇති සමාජ ක්‍රමයක්‌ අපට තිබුණ ද පවුලක තීරණ තීන්දු ගන්නී ගැහැනිය යි. දරුවන්ගේ හා පවුලේ පොදු කාරණාවකදී ඊට පිරිමියා එකඟ කර ගැනීමේ අපූරු හැකියවක්‌ අපේ ගැමි ගැහැනිය සතුව තිබිණි. ඇය නිරතුරුව සමාජයේ ගෞරවයට පාත්‍ර වූවා ය. එහෙව් සමාජයකට පිට රටවල කුණු කන්දල් ගලා ඒමට ඉඩ දුන් නිවටයෝ කවුරුන් ද?

එදා විලි බිය ඇතිව නිවසේ සිරියා කාන්තාව බවට පත් වූ කාන්තාව අද විලි බිය නැතිව මහා සමාජයේ අපහාස විඳින අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටිමු. පොදු සමාජයට විවෘත වූ ගැහැනියගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උපයන වැටුප ප්‍රමාණවත් නොවන තරම් ය. වරින් වර ගැහැනුන් රවටන විලාසිතා ප්‍රවේශයන් ඔවුන්ගේ මාසික වැටුපට තර්ජනයක්‌ පමණක්‌ නොව සාප්පු සවාරි ගානේ යවමින් කාන්තාවන්ගේ කාලය කා දැමීමට ද සමත් වනු ඇත. නිවාඩු දවසක දී වත් නිවසේ දරුවන් සැමියා සමග සතුටින් ගත කිරීමට ඇති කාලය විනාශ කර දමමින් ඇය සාප්පු සවාරි යන්නීය. ඇතැම් කාන්තාවන් මේ වෙනුවෙන් සිය සැමියාගේ කාලය හා මුදල් ද උකහා ගැනීමට සමතෝ ය.

කාලාන්තරයක්‌ මෙකී රටාවට හුරු වන ගැහැනියට දරුවෙකු ගැනවත් සිතා නිවසේ නතර වීමට නොහැකි තරමට මේ සමාජය ඇයගේ සිතුවිලි හා චර්යාවන් උඩු යටිකුරු කර තිබේ. ළිඳේ වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩට පැමිණිය යුත්තා සේම මේ සමාජ ක්‍රමයට ම ආවඩමින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇය ධෛර්යවන්ත විය යුතුය.

සිය වැනි කාන්තා දිනයේ දී වත් කාන්තා හිංසන, අසාධාරණකම්, දුක්‌ පීඩා පිළිබඳ විඳවීම වෙනුවට ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික කාන්තා සංහතියම අදිටන් කර ගත යුතුය. ඊට පිරිමි පාර්ශවයේ උපරිම සහයෝගය අත්‍යවශ්‍ය වේ.

තුෂාරී කළුබෝවිල
ලිබියානු ජනතා විප්ලවයේ අවසානය කුමක්‌ වේද!

මේ ලිපිය ඔබේ නෙත ගැටෙන විට ලිබියානු පාලක මුවම්මර් අල් ගඩාෆි පලවා හැරීම කේන්ද්‍ර කොටගත් ජන අරගලය එක්‌ තීරණාත්මක කඩඉමක්‌ පසුකර තිබීමට පිළිවන. ඒ කර්නල් ගඩාෆි තමා විසින් ස්‌ථාපනය කරන ලද "ශේ්‍රෂ්ඨ සමාජවාදී මහජන ලිබියානු ජමහිරියාවේ" පාලන බලයෙන් ඉවත්ව යැම හෝ ඉවත් කරනු ලැබීමය. ඔහු පිලිපීනයේ මාකෝස්‌ හෝ ටියුනීසියාවේ බෙන් අලි හෝ මෙන් වෙනත් රටකට පලා යනු ඇතැයි ඇතැම් විචාරකයන් විශ්වාස කරන අතර තවත් අයගේ අදහස ඔහු භාරගැනීමට කිසිදු රටක්‌ කැමැති නොවන බැවින් පලා යැමට තැනක්‌ ඔහුට නැති බවයි. මුබාරක්‌ට මෙන් රට තුළ සැඟව ගැනීමට නොහැකි හෙයින් ගඩාෆි දිවි නසා ගනු ඇතැයි දෙවනුව කී පිරිස විශ්වාස කරති. ලිබියානු පාලකයා බලයෙන් පහ වුවද නොවුණ ද අප මේ ලිපියේ සාකච්ඡා කරන කරුණුවල වලංගුභාවය අහෝසි වන්නේ නැත.

අප ජීවත්වන වත්මන් කාලවකවානුව "තොරතුරු යුගයක්‌" ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට අතගැසූ විගස නැතහොත් රූපවාහිනි, ගුවන්විදුලි හා වෙනත් මාධ්‍ය ඔස්‌සේ සැණකින් ලොව නන් දෙස තොරතුරු නිවැරැදිව ග්‍රහණය කරගැනීමට හැකි වෙතැයි යන්න ඉන් ඇඟවෙයි. සන්නිවේදන තාක්‍ෂණය විස්‌මයජනක ලෙස දියුණු වී ඇති බව සැබෑය. සන්නිවේදන මෙවලම් පෙර නොවූ විරූ ලෙස ලොව පුරා සුලබ වී ඇති බවද සැබෑය. එහෙත් ප්‍රධාන අන්තර්ජාතික සන්නිවේදන මාධ්‍ය සියල්ලම පාහේ විශේෂයෙන් බටහිර ධනවත් හා බලවත් රටවල ව්‍යාපාරික ආයතන අත සංකේන්ද්‍රණය වී ඇති බැවින් හා එකී සන්නිවේදන මාධ්‍ය තම රටවල් සතු ලෝක ආර්ථික, දේශපාලන සහ මිලිටරි ආධිපත්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බැවින් අපේ වැනි රටවල වෙසෙන ජනයාට ලෝකය දැකීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ ඇස්‌ වලිනි. ලෝකය තේරුම් ගැනීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ දෘෂ්ටියට අනුව ඔවුනට අවශ්‍ය අයුරිනි. මින් පෙර සෑම අවස්‌ථාවකම මෙන් වර්තමානයේ මැදපෙරදිග සිදුවීම් අරභයා අධිකාරි ජනමාධ්‍ය ඔස්‌සේ අපට ලැබෙනුයේ ඔවුන්ගේ දෘෂ්ටියට අනුරූපව තෝරාගත් සහ සූක්‍ෂම ලෙස හැඩගස්‌වන ලද තොරතුරු සහ විග්‍රහයන් පමණි. කර්නල් ගඩාෆි මහජන උද්ඝෝෂණ හමුවේ වෙනිසියුලාව වෙත පලා යමින් සිටිතියි පෙබරවාරි 20, ඉරිදා අසත්‍ය පුවතක්‌ ප්‍රචාරය කරනු ලැබීය. මෙය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමේ ප්‍රයත්නයකි. එකිනෙකට වෙනස්‌ හේතු නිසා වුවද අධිපති රටවලට හා ඔවුන්ගේ ජනමාධ්‍යයනට ද ගඩාෆි සේම හියුගෝ චාවේස්‌ ද නයාට අඳුකොළ මෙනි. අන්තර්ජාලයේ ආගමන සමග විකල්ප සන්නිවේදන මූලාශ්‍ර ගණනාවක්‌ බිහිව ඇත ද සම්පත් ඌනතාව නිසා අධිකාරි මධ්‍ය ජාලය සමග තරග කිරීමට ඒවාට කිසිසේත්ම නොපිළිවන. ලාභය අරමුණු කොටගත් ව්‍යාපාර නොවන මේ විකල්ප මූලාශ්‍රවලට තරගකාරි ලෙස තොරතුරු රැස්‌ කිරීමට හා බෙදාහැරීමට හැකියාව ද නැත. සාමාන්‍ය ජනයාට ඒවාට පහසුවෙන් ළඟාවීමට නොපිළිවන.

ඊජිප්තු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ ජනතා විරෝධය හමුවේ පෙබරවාරි 11 වැනිදා ධුරය අත්හැරීමෙන් සිව් දිනකට පසු එනම් 16 වැනිදා ගඩාෆි විරෝධී උද්ඝෝෂණ රටේ නැගෙනහිර පළාතෙන් ඇරඹිණ. පලා නොගොස්‌ පෙරළා සටන් කිරීමට තීරණය කළ ලිබියානු නායකයා නීත්‍යනුකූල යුද හමුදාව නොව සිය අතුරු හමුදා බළ ඇණි උපයෝගි කොට ගනිමින් විරෝධතා මර්දනය පටන් ගත්තේය. මේ සඳහා විශාල මිලක්‌ ගෙවා ඔහු විසින් නඩත්තු කෙරෙන අප්‍රිකානු කුලී හේවායන් ද සහාය කර ගත් බවට සාක්‍ෂි තිබේ. නිරායුධ ජනතාවට ගුවනින් පවා වෙඩි තබනු ලැබීය. පෙබරවාරි 28 වැනිදා වන විට වාර්තා වූ මරණ සංඛ්‍යාව දහසක්‌ පමණ විය. තුවාල ලැබුවෝ එමෙන් කිහිප ගුණයකි. ලක්‍ෂයක්‌ දෙනා අවතැන් වූහ. එහෙත් ජීවිත බිය අත්හළ ජනතාව මෙල්ල කිරීමට නොහැකි විය. දින කිහිපයක්‌ ඇතුළත රටේ දෙවැනි ප්‍රධාන නගරය බෙන්ගාසි ගඩාෆි පාලනයෙන් ගිලිහිණ. 27 ඉරිදා නැගෙනහිර සවියා නගරය කැරැලිකරුවන් අතට පත්විය. ආණ්‌ඩුවේ ඇමැතිවරු සහ ප්‍රධාන නිලධාරීහු සිය නායකයා අත්හැර යන්නට වූහ. අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා, අධිකරණ ඇමැතිවරයා සහ එක්‌සත් ජාතීන්ගේ ලිබියානු දූත මණ්‌ඩලයේ ප්‍රධානීහු ද ඔවුහු අතර වෙති. රාජ්‍ය රූපවාහිනියෙන් පෙනී සිටිමින්

කැරැලිකරුවන් "පිස්‌සු බල්ලන්, මීයන් සහ කුඩුකාරයන්" ලෙස හැඳින්වූ ගඩාෆි අවසාන ලේ බින්දුව දක්‌වා සටන් කරන බවට වහසි බස්‌ දෙඩුවේය. ඔහුගේ පුත් සෙයිµa - අල් - ඉස්‌ලාම් කතා කළේ ද එවැනිම වූ ප්‍රචණ්‌ඩ භාෂාවෙනි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය ලිබියානු ආණ්‌ඩුව නිරායුධ ජනතාව ප්‍රචණ්‌ඩ ලෙස මර්දනය කිරීම හෙළා දකිමින් පෙබරවාරි 22 වැනිදා යෝජනාවක්‌ සම්මත කළේය. ඉන් පසු පෙබරවාරි 26 වැනිදා ආරක්‍ෂක මණ්‌ඩලය අවි අලෙවිය, ගමන් බිමන් සහ ලිබියාවේ ඇතැම් විදේශ වත්කම් ඇතුළු වන පරිදි ලිබියාවට එරෙහිව සම්බාධක පැනවීය. ඒකමතිකව සම්මත කෙරුණු මේ යෝජනාවෙන් මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ චෝදනා මත මුවම්මර් අල් ගඩාෆි හේග් නුවර අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත යොමු කිරීමට ද තීරණය කෙරිණ. ආරක්‍ෂක මණ්‌ඩලය සාමාජික රටක්‌ සම්බන්ධයෙන් මෙබඳු තීරණයක්‌ ගත් දෙවැනි අවස්‌ථාව මෙයයි. (ලෝකයේ රටවල ස්‌වෛරීභාවය අරභයා ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරන මේ තීරණය දීර්ඝ ලෙස වෙනම සාකච්ඡා කළ යුත්තකි.)

ගඩාෆිගේ පාලනයෙන් ගිලිහී ගිය බෙන්ගාසී කේන්ද්‍රකොට, ඉවත් වූ අධිකරණ ඇමැති මුස්‌තාපා මොහොමඩ්ගේ නායකත්වයෙන් සංක්‍රාන්ති ආණ්‌ඩුවක්‌ ස්‌ථාපනයට ඉකුත් ඉරිදා වන විට පියවර ගැනෙමින් තිබිණ. රටේ නැගෙනහිර කොටසේ බලය අල්ලාගත් කැරැලිකරුවෝ දැන් සන්නද්ධ වෙමින් සිටිති. තවත් ශක්‌තිමත් වූ විගස තවමත් ගඩාෆිගේ පාලනයේ පවතින ටි්‍රපොලි අග නගරය වෙත ගමන් කිරීමට ඔවුහු සැලැසුම් කරති. එසේ වුවද එය ඉතා ඉක්‌මනින් කළ හැකි වනු ඇතැයි සිතිය නොහැකිය. "විප්ලවකාරී කමිටු" ලෙස හඳුන්වා ගන්නා, නවීනතම ආයුධ වලින්, මනා පුහුණුවෙන් සහ ප්‍රමාණවත් තරම් සම්පත්වලින් සන්නද්ධ වූ ගඩාෆිගේ අතුරු හමුදා බළඇණි සමග සටන් කොට ඔවුන් පරාජය කිරීම

කැරැලිකරුවනට එතරම් පහසු නොවන බැවිනි. තත්ත්වය තමාට ඉතා අවාසිදායක වුවහොත් කැරැලිකරුවනට එරෙහිව රසායනික අවි භාවිත කිරීමට වුවද ගඩාෆි සහ ඔහුගේ පුතුන් පසුබට නොවනු ඇතැයි බටහිර විචාරකයෝ විශ්වාස කරති. ගඩාෆි සිය බලය පවත්වා ගැනීම පිණිස වැඩි විශ්වාසය තබා ඇත්තේ නීත්‍යනුකූල යුද හමුදාව කෙරෙහි නොව අතුරු හමුදා බළඇණි සහ කලී හේවායන් කෙරෙහිය. 1969 දී හමුදා කුමන්ත්‍රණයකින් මහලු ඉද්‍රිස්‌ රජු පලවා හැර බලය ගත් ඔහු තමා ද එකී ඉරණමට ගොදුරු නොවනු පිණිස නීත්‍යනුකූල යුද හමුදාව සෙබළුන් 40,000 නොඉක්‌මවන දුබල මට්‌ටමක පවත්වා ගැනීමට වග බලාගත්තේය.

අධිකාරි අන්තර් ජාතික ජනමාධ්‍ය සහ ඉන් බැහැර මූලාශ්‍ර නොසොයන රට රටවල ජාතික මාධ්‍ය මුවම්මර් ගඩාෆි පින්තාරු කරනුයේ තනිකර කාලවර්ණයෙනි. යථාර්ථය ඊට වෙනස්‌ය. කුමන්ත්‍රණයකින් බලයට පැමිණිය ද ගඩාෆි සිය මුල් පාලන කාලය තුළ ලිබියානු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට සැලකිය යුතු වැඩ කොටසක්‌ කළේය. 1951 දී ප්‍රථම නිදහස්‌ අප්‍රිකානු රාජ්‍යය ලෙස නැඟී සිටීමට පෙර ලිබියාව අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන දඩබිමක්‌ව තිබිණ. වර්ග කිලෝමීටර් දස ලක්‍ෂයකට මඳක්‌ වැඩි එරට භූමියෙන් සියයට 95 ක්‌ම කාන්තාරවලින් සෑදුණේ විය. ගඩාෆිගේ පාලන සමයේදී දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.8 දක්‌වා ඉහළ ගිය අතර විශාල ස්‌වාභාවික ගෑස්‌ නිධි සොයා ගනු ලැබීය. ඉන් උපයා ගත් ධනස්‌කන්ධයෙන් කොටසක්‌ වැය කරමින් ගඩාෆි කඩිනම් නවීකරණ වැඩසටහනක්‌ ක්‍රියාවට නැංවීය. කෘෂිකාර්මික සංවර්ධනයට විශේෂ අවධානය යොමු කළ ඔහු සෑම ගැමි පවුලකටම හෙක්‌ටාර් 10 බැගින් වෙන්කොට ට්‍රැක්‌ටර්, නිවසක්‌, මෙවලම් සහ වාරි පහසුකම් සපයා දුන්නේය. ආටිසන් ළිං 1500 ක්‌ කැණ හෙක්‌ටාර් මිලියන 2 ක කාන්තාර බිම් සරු ගොවිබිම් බවට පත් කළේය. නගර වැසියන් සඳහා නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ ඇතුළු සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළක්‌ හඳුන්වා දෙනු ලැබීය. 1973-1980 අතර කාලයේදී කාර්මික ආයෝජනය 11 ගුණයකින් ද කෘෂිකාර්මික ආයෝජනය 30 ගුණයකින් ද ඉහළ ගියේය. තෙල් ධනයෙන් ජව බලය ලැබූ ප්‍රයත්නයේ ප්‍රතිඵල ලෙස ලිබියාව උතුරු අප්‍රිකානු කලාපයේ ඉහළම ඒකපුද්ගල ආදායම සහිත රට බවට පත්විය.

කතාන්තරයේ අනෙක්‌ පැත්ත අඳුරුය. ගඩාෆිගේ පාලනය මුල සිටම ආඥදායකත්වයක්‌ වූයේය. එහෙයින්ම එය මර්දනකාරී ද වූයේය. ඔහුගේ ආණ්‌ඩුව මිලිටරි ප්‍රභූ තන්ත්‍රයක හැඩරුව ගත්තේය. විශාල පවුල් ගසක්‌ කෙමෙන් වැඩිණ. තෙල් ධනයෙන් අසමානුපාතික කොටසක්‌ ඔවුන් විසින් පැහැර ගනු ලැබීය. ගඩාෆිගේ පෞද්ගලික චරිත ලක්‍ෂණ ද ඔහුගේත් රටේත් අවනතියට හේතු විය. අබ්දෙල් නසාර්ගෙන් පසු අරාබි ලෝකයේත් කලාපීය අධිරාජ්‍ය විරෝධී බලවේගවලත් නායකයා වීමට ඔහුට අවශ්‍ය විය. දේශපාලන පරිණත භාවයෙන් තොර මේ දඩම්බර හමුදා නිලධාරියා නසාර් කෙනකු ලෙස පිළිගැනීමට අරාබි ලෝකය කැමැති වූයේ නැත. ගඩාෆි සිය අධිරාජ්‍ය විරෝධය ක්‍රියාවට නැංවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා සැලැසුම් කිරීමෙන් හා ඒවාට අරමුදල් සැපයීමෙනි. මගීන් 270 ක්‌ මරණයට පත් කරමින් ස්‌කොට්‌ලන්තයට ඉහළ අහසේදී පෑන් ඈම් ගුවන් යානයක්‌ පුපුරුවා හැරීම පිළිබඳ වගකීම දැවැන්ත අන්තර්ජාතික පීඩනයකින් පසු 2003 දී ඔහු විසින් පිළිගනු ලැබීය. ගඩාෆිගේ "සමාජවාදය" සහ "අධිරාජ්‍යවිරෝධය" නිවැරැදි දැක්‌මක්‌ සහිත සුසංගත පිළිවෙතක්‌ නොවීය. පසු කලෙක ඇමරිකාව සමග මිත්‍රවීමට ඔහුට අවශ්‍ය විය. තමා පිළිබඳ සුවිසල් ප්‍රතිරූපයක්‌ ගොඩනැඟීමට මැඬලිය නොහැකි ආශාවක්‌ ඔහුට තිබිණ. ඒ සඳහා ඔහු රටේ තෙල් ධනය නොමසුරුව වියදම් කළේය. ඔහු බොහෝවිට තමා හඳුන්වා ගත්තේ "අප්‍රිකානු රජුන්ගේ රජු", "සියලු අරාබි නායකයන්ගේ ප්‍රධානියා" සහ "සියලු මුස්‌ලිම්වරුන්ගේ ඉමාම්වරයා" යන අභිධාන වලිනි. ඔහුගේ අසාමාන්‍ය ඇඳුම් හා කන්‍යාවන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආරක්‍ෂක බළකාය මේ චරිත ලක්‍ෂණ ප්‍රකට කරන සාක්‍ෂි දෙකකි. මනා අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස සකසා ගත් ආර්ථික, සමාජ දැක්‌මක්‌ සහ වැඩපිළිවෙළක්‌ නැති, අතනින් මෙතනින් අහුලාගත් දැනුමෙන් මෙහෙයවෙන, දේශපාලන පරිණතභාවයෙන් තොර, බලයෙන් හා මමංකාරයෙන් ඉදිමුණු සෙසු රාජ්‍ය නායකයනට ගඩාෆිගේ ඉරණම කදිම පාඩමකි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා නොව ඔහු අරා සිටින දැවැන්ත තෙල් සම්පත රිසි සේ ඩැහැ ගැනීමට නොහැකිවීම නිසා ඇමෙරිකාවේ සහ යුරෝපයේ පාලක පන්තීන් ගඩාෆි කෙරෙහි මුල සිටම පසු වූයේ බද්ධ වෛරයෙනි. සිය අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා දැන් ඔවුනට ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ උදාවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මනුෂ්‍යවාදයේ ධජයට මුවාවී ලිබියාවට මැදිහත්වීමට ඔවුහු සූදානම් වෙමින් සිටිති. ලිබියාවේ නේටෝ හමුදා මැදිහත්වීමකට අවශ්‍ය මානසික පසුබිම සැකසීමට බටහිර ජනමත ප්‍රධානීන් සහ ජනමාධ්‍ය ක්‍රියා කරමින් සිටිනු පැහැදිලිව දැකිය හැකිය. ඇමරිකානු සෙනෙට්‌ මණ්‌ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති ජෝන් කෙරී, ගඩාෆි පලවා හරින්නැයි පෙබරවාරි 22 වැනිදා ජනාධිපති බරක්‌ ඔබාමාට ප්‍රසිද්ධියේම පැවැසීය. ලිබියාවේ තෙල් බිම්වලට බෝම්බ දමන බවට තර්ජනය කළ යුතු යෑයි වෝල් ස්‌ට්‍රීට්‌ ජර්නල් පුවත්පත එදිනම සිය කතු වැකියෙන් යෝජනා කළේය. ලිබියානු ජන අරගලය තුළින් දැන් මතුව සිටින ලිබියාවේ "ඔටුන්න හිමි කුමාරයා" ලෙස හඳුන්වා ගන්නා මුහම්මද් සෙනුසි නමැත්තෙක්‌ අල් - ජසීරා රූපවාහිනිය ඔස්‌සේ "අන්තර් ජාතික ප්‍රජාවට" මෙවැනිම විවෘත ආයාචනයක්‌ කළේය. ලිsබියානු ජනතා විප්ලවයේ අවසානය කුමක්‌ වුවද, ගඩාෆිගේ ඉරණම කුමක්‌ වුවද, ලිබියානු ජනතාවට පමණක්‌ නොව කලාපයේ සෙසු ජනතාවට ද සිය අනාගතය නිදහසේ සකසා ගැනීමට ඉඩ නොදෙනු පිණිස අධිරාජ්‍යවාදය කළ හැකි සෑම දෙයක්‌ම කරනු ඇතැයි ඉඳුරාම කිව හැකිය.

නූතන කාර්මික ශිෂ්ටාචාරය පදනම්ව ඇති ප්‍රධාන කුළුණක්‌ වන ඛනිජ තෙල් සම්පතෙන් 65 % ක්‌ම තැන්පත්ව ඇත්තේ මැදපෙරදිග ගල්ෆ් කලාපය තුළය. තෙල් සම්පත ගල්ෆ් කලාපීය ජනතාවන්ගේ භාග්‍යය මෙන්ම ශාපය ද වී තිබේ. ඛනිජ තෙල් හඳුනාගත් මුල් අවධියේ සිටම එය තම පාලනයට නතුකර ගැනීමට බටහිර අධිරාජ්‍යවාදීහු නිරතුරුව ක්‍රියා කළහ. මේ කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටාවක්‌ නිර්මාණය වූයේ නම් සිය අරමුණ සපුරා ගැනීමට එය බාධාවක්‌ වන බව දුටු ඔවුහු කලාපයේ කිසිදු රටක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩු ක්‍රමයක්‌ බිහිවීමට ඉඩ නුදුන්හ. 1952 දී නිදහස්‌ මැතිවරණයකින් ඉරානයේ අගමැති පදවියට පැමිණි මුහම්මද් මොසැඩෙක්‌ තෙල් කර්මාන්තය ජනසතු කළ විට 1953 දී ක්‍ෂA කුමන්ත්‍රණයකින් අගමැතිවරයා බලයෙන් පහකොට ෂා රජුගේ ඒකාධිපති පාලන තන්ත්‍රය ස්‌ථාපනය කරනු ලැබීය. ඉරාකයේ තෙල් සම්පත හිමිකර ගැනීමේ අරමුණ ඇතිව 20 වැනි සියවසේදී ප්‍රථමයෙන් බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනියත් අනතුරුව එක්‌සත් ජනපදයත් ඉරාකයට කිහිපවිටක්‌ම හමුදා මැදිහත්වීම් කළේය. අවසන මේ සියවස ආරම්භයේදී ඉරාකයට පහරදී යටත් කොටගෙන රූකඩ ආණ්‌ඩුවක්‌ ස්‌ථාපනය කෙරිණි. ගිය සියවසේදී ලිබියාවට ද එවැනි මැදිහත්වීම් කිහිපයක්‌ කරනු ලැබීය. දැන් ලිබියාව ආසන්නයේ ඇමරිකානු හමුදා රඳවා තිබේ. ලිබියාව ඇතුළත, ගුවන් ගමන් තහනම් කලාපයක්‌, පිහිටුවීමට පිඹුරුපත් සකසා තිබේ. මැද පෙරදිග ජනතා විප්ලවය නිසි සැලැස්‌මකින් හෝ මඟ පෙන්වීමකින් තොරව අයාලේ ගියහොත් ඉතිහාසයේ බොහෝවිට සිදුවූවක්‌ මෙන් ජයගනු ඇත්තේ ජනතාව නොව අධිරාජ්‍යවාදයයි.

මොහාන් සමරනායක